ලලිත් චාමින්ද –
-
බදු පැහැර හැරිය අරක්කු කාරයන්ගෙන් මහා පරිමාණ බදු වංචාකරුවන්ගෙන් නිසි බදු අය කරගෙන ආහාර, ඖෂධ, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනයට ගහන බදු ඉවත් කරනවා!
-
කිසි කෙනෙක් එක්ක තරහක් පළිගැනීමක් නෑ… නමුත් සියලුම අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා… පාස්කු බෝම්බ කරුවන්ට නීතිය ක්‍රියාත්මක නොවීම මිනීමරුවන්ට නීතිය ක්‍රියාත්මක නොවීම නිසා සිදුවන්නේ නීතිය ගැන විශ්වාසය නැතිවී යෑමයි…
ජාතික ජනබලවේගයේ රජයක් යටතේ ඉදිපත් කරණු ලබන පළමු අයවැය ලේඛනය තුලින්ම ආහාර, ඖෂධ වර්ග, සෞඛ්‍ය හා සෞඛ්‍ය සේවා සැපයුම්, අධ්‍යාපන උපකරණ සදහා පනවා ඇති එකතුකළ අගය මත බද්ද (වැට බද්ද) ඉවත් කිරිමට කටයුතු කරණ බැව් ජාතික ජනබලවේගයේ නායක හා එම පක්ෂයේ ජනාධිපතිවරණ ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක ඊයේ (17) ගාල්ලේ දි පැවසිය.
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” උදාකරන නව පුනරුද මඟට රට හරවන තේමාව යටතේ ජනාධිපතිරණය සදහා නාම යෝජනාභාර දිමෙන් පසු ගාල්ල සමනළ ක්‍රිඩාංගනයේ දි පැවති ජනාධිපතිවරණ මංගල ප්‍රචාරක රැළියට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ධාරාණිපාත වැසි මැද විශාල ජනතාවක් මෙම රැස්විම සඳහා එක්ව සිටි අතර එම රැළිය අමතමින් අනුර කුමාර දිසානායක මෙසේද කිවේය.
“මේ ආණ්ඩුව ආහාර වලට වැට් ගහනවා. ආහාර වලට බදුගහන රටවල් ලෝකයේ අඩුයි. ආහාර සදහා දමා ඇති වැට් බද්ද අයින් කරනවා. පළමු වැනි අයවැය ලේඛනයෙන්ම එක කරනවා. ඖෂධවලට සෞඛ්‍ය පරික්ෂණවලට බදුගහනවා. ලෙඩක් වෙන එකත් රජයට ආදායමක් වෙලා තියෙනවා. ජාතික ජනබලවේගයේ රජයක් යටතේ සෞඛ්‍ය හා සෞඛ්‍ය සේවා සැපයුමේ වැට් බද්ද අයින් කරනවා.
අධ්‍යාපනය ගතහොත් පොතක්, පෑනක්, අධ්‍යාපන උපකරණ ගතහොත් සියයට 18ක් රජයට බදු ගෙවන්න වෙනවා. දරුවා ඉගෙන ගන්නත් ආණ්ඩුවට බදු ගෙවන්න ඕන. මෙවා සාධාරණ නැහැ. ලෝකයේ ආහාර සෞඛ්‍ය අධ්‍යාපනයට බදුගහන්නේ නැහැ. අපේ රටේ බෙහෙතට හෙතට පරික්ෂණයට, ආහාරවලට අධ්‍යාපන උපකරණවලට බදු ගහනවා. පළමු අයවැය ලේඛනයෙන්ම බදු අයින් කරනවා. ආණ්ඩුව එන්නේ ජනතාව බලාගන්න මේ අය එන්නේ ඒ අය බලාගන්න.
දැන් අපෙන් අසාවි බදු අයින් කළවිට අවශ්‍ය මුදල් හොයාගන්නේ කොහොමද කියලා. කෝටි 600ට වැඩියෙන් අරක්කු මුදලාලිලා තුන්දෙනා බදු ගෙවලා නැහැ. ජාතික ජනබලවේගයේ රජයක් යටතේ මෙම මත්පැන් සදහා නොගෙවා ඉන්න බදු මුදල් ඉතා වේගයෙන් අය කරගන්නවා. නැතිනම් නඩු දමනවා. බදු පනත වෙනස් කරනවා. අද බදු ගෙවන්නේ නැතිව මත්පැන් නිෂ්පාදකයින් නඩු දමනවා. අන්තිමට නඩුවෙන් තින්දු වු විට බදු මුදල ගෙවනවා.
අපි කියනවා අද මේ බද්ද ගෙවන්න ඕන කියලා. ඒ අය නඩුවක් දැම්මොත් නඩුවෙන් තින්දු වෙලා එන බදු මුදල අන්න ඒ මුදල තීන්දු වෙන දිනයට බදු මුදල ගෙවිය යුතු දවසේ සිට පොලියක් අය කරනවා. ඒ නිසා අපි විශාල වශයෙන් නිති සංශෝධනය කරනවා. රේගුව සුද්ද කරනවා. කාර්යක්ෂම කරනවා. ආදායම් මාර්ග වැඩිකරනවා.
අවුරුදු එකහමාරක් ඇතුළත රේගුවේ ආදායම සියයට තිහකින් වැඩි කරන්න පුළුවන් කියලා රේගු නිලධාරින් අපිට කියලා තියෙනවා. මේකේ ආදායම ඇමතිවරුන්ගේ ගෙවල්වලට ගලාගෙන යනවා. ජාවාරම් කරුවන්ගේ ගෙවල් වලට ගලාගෙන යනවා. ඇමතිවරුන්ගේ හා ජවාරම්කරුවන්ගේ ගෙවල් වලට ගලාගෙන යන බද්ද භාණ්ඩාගාරයට හරවනවා. අන්න ඒ අයුරින් තමයි අධ්‍යාපනයේ බද්ද අයින් කරන්නේ. සෞඛ්‍ය සේවාවේ බද්ද අයින් කරන්නෙ. මත්පැන් මුදලාලිලගේ බදු භාණ්ඩාගාරයට එනවා. ජනතාවගේ මුලික සේවාවන් සදහා අවශ්‍ය පහසුකම් දෙනවා.

අපේ විදුලි හා බලශක්ති සැලසුම 15 වැනිදා අපි ඉදිරිපත් කළා. ඒ අනුව ඉතා කෙටිකාලයක් තුල විදුලි බිල තුනෙන් දෙකකින් අඩුකරනවා. කෙරවලපිටිය බලාගාරයේ හා කැළණිතිස්ස බලාගාර පද්ධතියේ එතන තියෙනවා මෙගාවොට් 1500ක ධාරිතාවයක්. එවා හදන්නේ ඩිසල් වලින් හා නැප්තා වලින්. ඩිසල් ලිටරයකින් හදන්න පුළුවන් යුනිට් තුනයි. මේ බලාගාර පද්ධතිය ස්වාභාවික ගෑස් වලට පරිවර්තනය කරන්න පුළුවන් 2015 ඉඳන් මෙක ගෑස් වලින් හදන්න පුළුවන්කම තිබුණා. නමුත් මෙ ව්‍යාපෘතිය කරන්නේ නැහැ.
පර්යන්තේ හදන්න ඕන. ගෑස් තියන නල පද්ධතිය හදන්න ඕන. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කාලයේ මේ සදහා කොරියන් සමාගමක් අරන් ආවා. රනිල් වික්‍රමසිංහ ජපාන සමාගමක් අරන් ආවා. දෙන්නාගේ රණ්ඩුව පටන් ගත්තේ එතනින්. අන්තිමට දෙන්නාගේ රණ්ඩුව නිසා කොරියාවත් නැහැ. ජපානයත් නැහැ. අවුරුදු 15ක් තිස්සේ ඩිසල් වලින් රුපියල් 120ක් දිලා විදුලි ඒකකයක් හදනවා. එල්.එන්.ජි වලින් රුපියල් 30ට හදන්න පුළුවන්. නැප්තා වලින් රුපියල් 70වට හදන එක එල්.එන්.ජි වලින් රුපියල් 30ට හදන්න පුළුවන්. විදුලිබිල වැඩියෙන් ගෙවන්නේ එම ව්‍යාපෘති ක්‍රියාත්මක නොවන නිසා. ජාතික ජනබලවෙගයේ රජයක් යටතේ කඩිනමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරලා විදුලිබිල අඩු කිරිමේ සැලැස්ම හදනවා.
බොරතෙල් ගෙනවිත් පිරිපහදු කළහොත් තෙල් මිල සියයට 15කින් අඩුකරන්න පුළුවන්. නමුත් අපේ පිරිපහදුවට වසර 55ක් වෙනවා. අද මෙම පිරිපහදුවෙන් ඩිසල් පිරිපහදුකරන්නේ සියයට තිහයි. ප්‍රෙට්‍රල් පිරිපහදුකරන්නේ සියයට 17යි. මෙම පිරිපහදුව හැදුවොත් තෙල් මිල සියයට 17කින් අඩුකරන්න පුළුවන්. නමුත් මෙක හදන්නේ නැහැ. හැම තෙල් නැවකින්ම ගාන සාක්කුවට එන නිසා. අපි වාහනයේ යතුරු පැදියේ තෙල් ටැංකියට වැඩි ගානක් දිලා තෙල් ගහනවා. ආණ්ඩුව තෙල් නැවක් එනවිට ගාන ගහනවා. අපිට තෙල් බිල අඩුකරන්න පුළුවන්.
සංචාරක, කර්මාන්ත, වැවිලිකර්මාන්තය දියුණු කරන්න අපනයන ආදායම හොයාගන්න කටයුතු කරනවා. අප්‍රිකානු කලාපයේ විශාල වෙළදපොළක් තියෙනවා. අපි ඉක්මනින් ගිහින් තානාපති කාර්යාල විවෘත කරන්න ඕන. තරුණ ජවය තියෙන ව්‍යාපාරික ඥානය තියෙන කණ්ඩායමක් තානාපතිවරුන් හැටියට පත්කරනවා.
අපේ රටේ ශක්තිමත් ජාත්‍යන්තරය සමග තරග වැදිමට සමත් කොන්ත්‍රාත්කරුවන් ඉන්නවා. ඒ සදහා රජය සහයෝගය ලබාදිය යුතුයි. තාක්ෂණය ප්‍රාග්ධනය ලබා දෙනවා. කර්මාන්ත කරුවෙකු ව්‍යයසායකයෙකු වෙන්න බැංකුවකින් ණයක් ගන්න දේපලක් උකස් කළ යුතු වෙනවා. දේපලක් ඇපයට නැතිව ණය ගන්න බැහැ. ඇප වලින් තොර ණය ලබාදෙන්න පුළුවන් සංවර්ධන බැංකුවක් හදනවා. ඇපය තමයි එම ව්‍යාපාරය දියුණු කරන්න පුළුවන් ව්‍යාපෘති වාර්තාවක්. ඒ ව්‍යාපෘති වාර්තාව අධ්‍යයනය කරලා පියවරෙන් පියවර මුදල් ලබාදෙනවා. ජාතික ජනබලවේගයේ රජයක් යටතේ තරුණයෙකුට ව්‍යවසායකයෙකු වෙන්න දේපල ඇපයකින් තොරව ණය ලබාදෙනවා. ප්‍රාග්ධනය, තාක්ෂණය හා වෙළදපොළ හොයලා දෙනවා. අපි ලෝකයේ වෙළදපොළෙන් පංගුවක් අත්පත් කරගතයුතුයි. දකුණු කොරියාව ලෝක වෙළදපොළෙන් ඩොලර් බිලියන 685ක පංගුවක්. අපි අත්පත් කරගෙන තියෙන්නේ ඩොලර් බිලියන 12ක පංගුවක්. නතරවෙලා තියෙන හිරකරලා තියෙන පිලි පැනලා තියෙන ආර්ථිකය නිසි පීල්ලට දමලා සිඝ්‍රගාම් ලෙස ඉදිරියට ගෙන යන ආර්ථිකයක් බවට මෙම ආර්ථිකය පත්කරණවා.
ඒ අතර අපි දකින්නේ මොනවද… පැනිලි. පනින්නේ නිකන් නෙවෙයි. බාර් ලයිසන් දිලා, පෙට්‍රල් සෙඩ් ලයිසන් දිලා. අමාත්‍යධුර හා සල්ලි පොරොන්දු වෙලා. කෝටි ප්‍රකෝටි ගණන්වලට තමයි මේ වැඩේ වෙන්නේ. මෙවා නතර කරන්න ඕන. ජාතික ජනබලවේගය දේශපාලන පොර පිටිය ශුද්ධකරණවා.
අපිට කිසිම අයෙකුගෙන් පලි ගන්න වුවමනාවක් නැහැ. අපිට අවශ්‍ය සාමකාම් මැතිවරණයක් හා සාමකාමි ජයග්‍රහණයක්. අපේ රටේ මැතිවරණ ඉතිහාසය බැලුවිට ඡන්දය දිනලා අනිකුත් පක්ෂවලට හිරිහැර කරලා තියෙනවා. තෙල් සංස්ථාවෙන් නම් ඡන්දය දිනපු අය පැරදුණු අය කලුතෙල් වලින් නාවනවා. ලංගම ඩිපෝවල පැරදුණු අයට ඩිපෝ වලට එන්නේ දෙන්නේ නැහැ. 77 පොලිසියට නිවාඩු දිලා ගෙවල් ගිනි තියන්න ඝාතනය කරන්න ඉඩ දුන්නා.
ජාතික ජනබලවේගය මැතිවරණයත් සාමකාමි. මැතිවරණයෙන් පස්සෙත් සාමකාමි. හැම පාක්ෂිකයාම අපේ පුරවැසියා ලෙස සලකලා අපි ආරක්ෂාකරගන්න ඕන. නිය තුඩකින් වෙන හානියක් කිසිදු පාක්ෂිකයෙකුට වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒ අය ලංකාවේ පුරවැසියන්. නීත්‍යානුකුලව විසදාගතයුතු ගනුදෙනුවක් තියෙනවා. පාස්කු ප්‍රහාරය සිදුවෙලා දැන් වසර පහක් වෙනවා. කෝ අපරාධකරුවන් හා ඝාතකයින්. මෙම ඝාතකයින් හා අපරාධකරුවන් පිළිබඳ නිසි පරික්ෂණ කරලා නිතිය හමුවට ගෙනවා. නීතිය හමුවට ගෙන්නේ පලිගැනිමකට නෙවෙයි. මේ රටේ සංස්කෘතියක් ඇතිවුවහොත් පල්ලි පුපුරවලා නිදහසේ ඉන්න පුළුවන් කියලා එක ඝාතනයට උඩගෙඩි දීමක්.

ලසන්තව ඝාතනය කළා. පෝද්දල ජයන්තට පහරදුන්නා. කිත් නොයාර්ට පහර දුන්නා. උපාලි තෙන්නකොන්ට පහරදුන්නා. එක්නැලිගොඩට වෙච්ච දෙයක් නැහැ. ඝාතකයින් ඉන්නවා අපේ සමාජයේ. ඝාතනය කරපු කෙනාට දඩුවමක් නැතනම් ඒ සමාජය ඝාතකයින්ට අපරාධකරුවන්ට උත්තෙජනය දෙන සමාජයක්. පසුගිය අපරාධ ගැන සොයන්නේ පලිගැනිමේ චේතනාවෙන් නෙමෙයි. සමාජය ශිෂ්ඨ කරන්න නීතියට ගරුකරනවා වගේම නිතියට බියක් තියෙන්න ඕන. අපරාධකරුවන් හොයලා දඩුවම් ලබාදිමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ ඒ නිසා. මේ සමාජය විශ්වාසනීය සමාජයක් කරන්න ඕන. අපි මේ රට හදනවා පුරවැසියන් නිතියට ගරු කරනවා බියක් දක්වනවා. වංචා හා දුෂණ කරපු අය පිළිබද පරික්ෂණ කරලා නිතිය හමුවට ගෙනවා. සොරකම් කරපු ධනය පවරාගන්නවා. එක කරන්න පුළුවන් ජාතිකජන බලවේගයේ රජයකට පමණයි.
ජනතාව දශක ගණනාවක් තිස්සේ වංචනිකයින්ට දඩුවම් ලබාදීම සඳහා ප්‍රාර්ථනාවක් තියෙනවා. නමුත් හොරකම් අල්ලන්න කියලා ඇවිත් හොරාට ඇමතිකම් දෙනවා. මහජනයාගේ දේපල සොරකම් කළොත් නිසි දඬුවම ලැබිය යුතුයි.
ධිවර කර්මාන්තය දියුණු කරන්න ඕන. මුහුදේ මාළු හිටියට රට දියුණු වෙන්නේ නැහැ. ධිවරයින්ට පහසුම්කම් දිලා මත්ස්‍ය අස්වැන්න නෙලා ගන්න ඕන. ධීවරයින්ට වැඩිපුර මත්ස්‍ය අස්වැන්න නෙලීම සඳහා තාක්ෂණය දෙනවා. ඉන්ධන සදහා සහනාධාරයක් දෙනවා. තේ දළු කර්මාන්තයේ යෙදෙනා කෙනා අක්කරයකින් ගන්න තේ දලු ප්‍රමාණය වැඩිකරගන්න ඕන. ඒ සදහා අවශ්‍ය පොහොර සහනාධාරය, හොද තේ පැල වර්ග දෙන්න ඕන. තේ කර්මාන්තය දියුණුකරන්න වැඩපිළිවෙළක් හදලා තියෙනවා. සංචාරක කර්මාන්තය සඳහා සැලසුමක් හදලා තියෙනවා. කෙටි කාලයක් තුළ ලක්ෂ 40ක් දක්වා සංචාරකයින් ගෙන්විමට. වැඩිම මුදල් වියදම් කළ හැකි සංචාරකයින් ගෙන්න සැලසුම් හදලා තියෙනවා.
අද විදේශිය සංචාරකයින් ඇවිත් අපේ රටේ බිස්නස් කරනවා. ඒක කරන්න දෙන්න බැහැ. ඒ සඳහා නිති සකස් කරණවා. රටේ අධ්‍යාපනය දියුණු කිරීමට සැලසුම් හදලා තියෙන්නේ. එවා පියවරෙන් පියවර යන්න ඕන. නමුත් ජනතාව ජිවත් වෙන්න ඕන.
ජාතික ජනබලවේගයේ විධායක සභික හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි නලින් හේවගේ, ජාතික ජනබලවේගයේ විශ්‍රාමික පොලිස් සාමුහිකයේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකාරක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දුල්ෂාන් නාගහවත්ත, ජාතික ජනබලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකාරක 61 වැනි සේනාංකයේ හිටපු සේනාංකාධිපති හිටපු මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු,.ජාතික ජනබලවේගයේ විධායක සභික හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි රත්න ගමගේ ද ජනතාව ඇමතූහ.
ප්‍රවීන කිවිවර රත්නශ්‍රි විජේසිංහ, නිතිඥ සමන්මලි ගුණසිංහ නිතිඥ හර්ෂණ රාජකරුණා අධිනිතිඥ ලාල් විජේනායක ද මෙම ජන රැළිය සඳහා එක්ව සිටියහ.







