අමෙරිකාවේ ලාස් වේගාස් හි පැවති ලෝක විවාහක රූ රැජින තරගාවලියේ දී ශ්‍රී ලංකා විවාහක රූ රැජන පුෂ්පිකා ද සිල්වා සිවුවන ස්ථානය දිනා ගත්තාය.
ලෝක විවාහක රූ රැජන කිරුළ දිනාගත්තේ අමෙරිකානු විවාහක රූ රැජින Shaylyn Ford ය.
ඇය 37 වන වියේ පසුවන්නීය.
පුෂ්පිකා ද සිල්වා ශ්‍රී ලංකා විවාහක රූ රැජන වන්නේ අර්බුද රැසක් මැදය. ඇයගේ සුදුසුකම් පිළිබඳ බරපතල ප්‍රශ්න මතුවෙද්දී ලෝක විවාහක රූ රැජණ ලෙස කිරුළ දරා සිටි ශ්‍රී ලාංකික රූ රැජණ වන කැරොලයින් ජූරි පුෂ්පිකාගේ නුසුදුසුකම පිළිබඳ ඇතිකළ විරෝධතාවය නිසා ඇයට ඇයගේ කිරුළත් අහිමි විය.
කෙසේ වෙතත් ඇය තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කළාය. රටවල් 58ක් නියෝජනය කරමින් තරගකාරියන් එක් වී තිබිණි.
පුෂ්පිකා ද සිල්වා ඇයගේ ෆෙස් බුක් ගිනුමේ මෙසේ සටහන් කර තිබිණි.
මම, ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ පැවැත්වූ ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියේ දී, ලෝකයේ රටවල් රැසක රූ රැජිණියන් අතරින් අවසන් හයදෙනාගේ වටය තෙක් ඉදිරියට පැමිණ, “හතරවෙනි ස්ථානය” ලබාගන්නට සමත් වුනෙමි. තරගය ජයග්‍රහණය කළ පලමු දෙවන තෙවන ස්ථානය ලබා ගත් විවාහක රූ රැජිණියන්ට මගේ සුභාශිංසන එක් කරමි. මගේ රට වෙනුවෙන් මේ ස්ථානය ලබාගන්නට හැකිවීම ගැන මම ඉතාමත් සතුටට පත්වන අතර දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා මම එය ඉතාමත්ම සතුටින් භාරගනිමි.
එමෙන්ම මම ලෝක විවාහක රූ රැජින තරගාවලියේ සංවිධායක මණ්ඩලයටත්, ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ ඇතුළු මගේ කණ්ඩායමටත්, ලොස් ඇන්ජලීස් සහ ලාස් වේගාස් නගරවල පදිංචි ශ්‍රී ලාංකික ප්‍රජාව ඇතුලුව, මගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කළ, මට ධෛර්යය ශක්තිය ලබාදුන් මගේ ආදරණීය දෙමව්පියන්, මගේ සහෝදර සහෝදරියන් හිතවතුන් ඇතුලු, මගේ රටේ ආදරණීය ජනතාවටත්, මේ අවස්ථාවේදී හදවතින්ම ස්තූතිවන්ත වෙමි.
– පුෂ්පිකා ද සිල්වා
ශ්‍රී ලාංකික විවාහක රූ රැජිණ 2021