පාර්ලිමේන්තුව අරගලයකින් අත්පත් කරගැනීමට කළ අසාර්ථක රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය දණ්ඩ නීති සංග්‍රහය යටතේ මරණීය දණ්ඩනය හිමි වන වරදක් බවත් එම අපරාධයට සැලසුම් කළ ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩි ලාල් කාන්ත අත් අඩංගුවට ගෙන වහාම විමර්ශන පවත්වන ලෙසත් සමගි නීතිඥ සංගමය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකරනු ලැබුවේය.
එම නීතිඥ සංගමය පැමිණිල්ල ඉදිරිපත් කර මාධ්‍ය ඉදිරියට පැමිණ ප්‍රකාශ කළේ ලාල් කාන්ත මරණීය දණ්ඩනයට ලක් විය යුතු වරදක් සිදුකර ඇති බවය.
අරගලය පාර්ලිමේන්තුව දෙසට හැරවීමට කළ උත්සාහය අසාර්ථක වූ බව ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී.ලාල් කාන්ත පසුගිය දා දේශීය ආදායම් වෘත්තිකයින් පෙළගස්වන 16 වැනි වාර්ෂික සමුළුව අමතා කළ කතාවේ දී ප්‍රකාශ කර තිබිණි. ඔහු මේ ප්‍රකාශ කරන්නේ දීර්ඝ කතාවක් අතරතුරදී ය.
ඔහු මේ සම්බන්ධව කළ ප්‍රකාශය මෙසේය.
“ගෝටා ජනතා අරගලයෙන් යැව්වට පස්සේ ඒ ජනතා අරගලය හරවන්න තිබුණේ කොහාට ද?. පාර්ලිමේන්තුවට. අපි හරවන්න ගියා. අපි එතෙන්ට බැස්සා. එහෙත් විසිරිච්ච පැතිරිච්ච ජනතා අරඟලයේ තැන් තැන්වල විසිරිච්ච ගෝල්ෆේස් නායකයො කියන අය ඒක බ්ලොක් කළා. ඉතිරි වෙච්චි පාර්ලිමේන්තුවෙන් අර බිඳ වැටිච්ච කුලුන නැවත ගොඩනැගුවා. එතකොට ගෝටා පන්නපු එකෙන් සත පහක වැඩක් නෑ. “
ලාල් කාන්ත පැවසුවේය. මෙම ප්‍රකාශයට එරෙහිව ලාල් කාන්ත අත්අඩංගුවට ගන්නා ලෙස සමගි නීතිඥ සංගමයේ නීතිඥ පිරිසක් අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූලස්ථානයට පැමිණිලි ඉදිරිපත් කළේය.
“ලාල්කාන්ත ජාතික ජන බලවේගයේ විධායක සභිකයා කියනවා ඔවුන් අරගලයට ආවේ පාර්ලිමේන්තුව අල්ලන්න කියලා. එය තනිකරම ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව වරදක්. මේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට තියන දඬුවම තමයි මරණීය දඬුවම.”
“ඒ නිසා අපි වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලිමක් කරනවා මේ ගැන පරික්ෂණ පවත්වලා ලාල් කාන්තව අත් අඩංගුවට අරගෙන විමර්ශන කටයුතු පවත්වන්න කියලා. “
සමගි ජන බලවේගයේ නීතිඥ කණ්ඩායම පැවසුවේය.







