මහනුවර ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලබන 17 හැවිරිදි පාසල් සිසුවෙක් පැහැර ගෙන ගොස් එම දරුවාගේ පියා විසින් ගෙවිය යුතු රුපියල් ලක්ෂ 12ක මුදලක් ගෙවන තෙක් ප්‍රාණ ඇපයට තබා ගෙන සිටි සිද්ධියක් සම්බන්ධව මහනුවර පොලිසිය පරීක්ෂණ පවත්වයි.
පසුගිය 15 වැනිදා මෙසේ ප්‍රාණ ඇපකරුවෙක් ලෙස පැහැරගෙන ඇති ඇති 17 හැවිරිදි සිසුවාගේ පියා හන්තාන ප්‍රදේශයේ පදිංචි රෙදි පිළි ව්‍යාපාරිකයෙකි. දරුවා පැහැර ගෙන ගොස් ඇති බව කියනු ලබන්නේ එම ව්‍යාපාරිකයා විසින් ලක්ෂ 12ක හිඟ මුදලක් ගෙවීමට ඇති රෙදි පිළි සැපයුම් කරුවෙක් විසිනි.
මෙම සිසුවා පැහැරගෙන ගොස් කඩුගන්නාව ප්‍රදේශයේ නිවසක සිර කර තබාගෙන සිටිය දී පොලිසිය විසින් සැකකරුට දුරකථන ඇමතුවක් ලබා දී පවසා ඇත්තේ වහාම සිසුවා පොලිසියට රැගෙන එන ලෙසය. මේ ඇමතුමත් සමග සිසුවා මගී ප්‍රවාහන බස් රථයකින් මහනුවරට එවා සැකකරු පලා ගොස් තිබේ.
පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ සැකකරු තමන්ට කිසිම හිංසාවක් හෝ පීඩාවක් සිදුනොකළ බව සිසුවා පොලිසියට පවසා ඇත.
සිද්ධිය පිළිබඳ සිසුවාගේ මව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබිණි.
සැකකරු සොයා මහනුවර පොලිසිය විශේෂ පරීක්ෂණයක් අරඹා තිබේ.