මනම්පිටිය නිමල් ජයරත්න –
-
විනාඩියකින් තේ එකක් හදාගන්න පුලුවන්… විනාඩි දෙකකින් බිත්තරයක් තම්බා ගන්න පුලුවන්…
-
ඖෂධීය ගුණයක් ඇතැයි ආයුර්වේද වෛද්‍යවරු කියනවා… බෙහෙත් හදා ගන්න වතුර අරන් යනවා…
පොලොන්නරුව වැලිකන්ද නෙළුම්වැව මැද පිහිටි ශ්‍රී ලංකාවේ උණුදිය උල්පත් අතර වැඩිම උෂ්ණත්වයක් පවතින නෙලුම්වැවේ උණු වතුර ළිං තුල වෙනස්කම් රැසක් සිදු වෙමින් පවතින බව නෙළුම්වැව ගම්වාසීහු පෙන්වා දෙති.
මේ දිනවල එම උණු වතුර ළිං වලින් දහවල් මෙන්ම සවස් කාලයේදී දැඩි දුමාරයක් පවතින අතර, උනු වතුර ළිං වලින් එන ජලය අධික උණුසුම් ගතියක් ඇතිවන බවත්, එම ආසන්නයේ කවුරුන් හෝ කතා කරන විට බුබුළු වැඩිවශයෙන් උඩට මතුවී උණුවතුර පිටාර ගැලීමෙන් වැව මැද ඇති ජපන් ජබර ඇතුළු ජලජ පැලෑටි විනාඩි ක් කිහිපයකින් මැලවී යන බවත් නෙළුම්වැව ඩී 08 බෙදුම් ඇළ ගොවි සමිතියේ උප සභාපති ඩබ්ලිව්. එම්. ධර්මපාල කීවේය.
නෙළුම්වැව මැද උණු වතුර ළිං හතක් පිහිටා තිබෙන අතර ඉන් එක ළිඳකින් උඩට මතුවන උණුවතුරෙන් විනාඩියක් ඇතුළත තේ කෝප්පයක් හදා ගැනීමේ හැකියාව පවතින බවත්, විනාඩි දෙකක කාලයක් තුළ බිත්තරයක් තම්බා ගැනීමට හැකියාව පවතින බවත්, ඇතැම් සංචාරකයින් මෙම ස්ථානයට පැමිණ එම උණු වතුර ළිං වලින් තේ බීමට පුරුදුව සිටින බවත් ධර්මපාල කීවේය.
වර්ෂ 2005 වසරේ දී හඳුනාගත් නෙළුම්වැව මැද පිහිටා ඇති උණුවතුර ළිං ශ්‍රී ලංකාවේ පවතින උණු වතුර ළිං දහයෙන් වැඩිම උෂ්ණත්වයක් පවතින උණුවතුර ළිං ය. ඒ අනුව මෙහි සෙල්සියස් අංශක 74 කට වඩා උෂ්ණත්වයක් පවතින බවට පර්යේෂකයන් විසින් තහවුරු කර ඇති බව නෙළුම්වැව ගම්වාසීහු සඳහන් කරති.
කලක් වැලිකන්ද ප්‍රාදේශීය සභා මඟින් පාලනය කරන ලද මෙම උණුවතුර ළිං ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් ද පාලනය වූ අතර මෙවැනි විට උණුවතුර ළිං හතක් වැව මැද පිහිටා තිබුණද ඒවා නැරඹීමට යෑම සඳහා ඇත්තේ එකම බෝට්ටුවක් පමණක් බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
ශරීරයේ ඇතිවන කුෂ්ඨ දද ඇතුළු සමේ රෝග සමනය කරගැනීමට මෙම උණු වතුර ළිංවල ජලය පළාතේ ජනතාව භාවිතා කරති. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ආයුර්වේද වෛද්‍යවරුන් පැමිණ මෙම උණු වතර ළිඳේ ජලය විවිධ ප්‍රතිකාර සඳහා කලක් රැගෙන ගිය බවද ගම්වාසීහු කියති.
පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ සෙවණපිටිය නගරයේ සිට කිලෝමීටර් 5 ක් දකුණු දෙසට ගිය පසු වැව මැද මෙම ළිං පිහිටා තිබේ.
කිසිදු ප්‍රයෝජනයක් ලබා නොගන්නා මෙම උණු වතුර වතුර ළිං වල තත්වය පිළිබද අප ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර නොයෙල් ජයසිරිගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මෙම උණුවතුර ළිං සංවර්ධනය කර දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹීමේ අවස්ථාව ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බවයි.