අසේල කුරුළුවංශ –
රොගී වී ප්‍රතිකාර ගැනීමට රෝහල්වලට යන මානසිකත්වය වෙනස් කර රෝග ලක්ෂණ පහළ වීමට පෙර රෝගයක් තිබේ දැයි හඳුනා ගැනීම සඳහා රෝහල් වලට යන සංස්කෘතියක් රටේ ඇතිවිය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි පවසයි.
රෝග ලක්ෂණ පහළ වීමට සෑහෙන කාලයක් ගතවීම නිසා බෝනොවන රෝග වලින් පෙළෙන ජනතාව ප්‍රතිකාර සඳහා යොමුවීම ප්‍රමාද වීමෙන් එම රෝග පාලනය කිරීම රටක් ලෙස මුහුණ දීමට සිදුව තිබෙන ප්‍රධාන අභියෝගයක් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ආරෝග්‍යා වැඩසටහන යටතේ යටිනුවර මැණික්දිවෙල විදුහලේ දී අද (27) පැවැති වෛද්‍ය සායනයකදීය.
බෝ නොවන රෝග කල්තියා හඳුනා ගැනීමට සඳහා පරීක්ෂණ මෙහි දී නොමිලේ සිදු කෙරුණු අතර අදාළ රෝග සම්බන්ධයෙන්වන දැනුවත් කිරීමේ වැඩසටහන්ද ඊට අන්තර්ගත විය.
එහි දී හංසක විජේමුණි නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද ප්‍රකාශ කළේය.
“බෝ නොවන රෝග පාලනය රටක් ලෙස අපි මුහුණ දෙන ලොකුම අභියෝගයයි. අනෙක් රෝග මෙන් කල්තියා දැන ගැනීමට නොහැකි වීම බෝනොවන රෝග පාලනයට තිබෙන ලොකුම ගැටලුවක්. අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග වලින් පෙළෙන පුද්ගලයින් ප්‍රතිකාර වලට යොමු වන්නේ කාලයක් ගතවූ පසුවයි. ඊට හේතුව මුල් අවධියේ රෝග ලක්ෂණ මතු නොවීමයි. කොලොස්ටරෝල් වුණත් ඇඟේ ප්‍රමාණය ඉක්මවා තිබෙන බව අපිට දැනෙන්නේ නැහැ. මේවාහි පොඩි පොඩි රෝග ලක්ෂණ මතු වෙන්නේ කල් ගිහින්.
මේ නිසා අවුරුදු 35 පමණ ඉක්මවූ පසු රෝහල් වලට හෝ පහසුකම් පවතින ස්ථාන වලට ගිහින් බෝනොවන රෝග හඳුනා ගැනීම සඳහා තිබෙන පරීක්ෂණ සිදුකර ගැනීම පුරුද්දක් ඇතිකර ගත යුතු වෙනවා.
බෝනොවන රෝග ල පවතින සුවිශේෂි ලක්ෂණය තමයි මේවා මුල් අවස්ථාවේම පාලනය කිරීම මගින් රෝගයෙන් සිදුවන බලපෑම අවම කර ගැනීමට හැකිවීම. අවාසනාවකට අපි මේවා හඳුනාගන්නේ රෝගී තත්ත්වය වැඩිවෙලා සංකූලතා මතු වුණාට පසුවයි. සංකූලතා මතු වුණාම රෝගය පාලනය කිරීම සඳහා ගොඩක් ඖෂධ ගන්න වෙනවා. විවිධ ප්‍රතිකාර විදි වලට යන්න වෙනවා. ඒ ප්‍රතිකාර විදි බොහොමයක් අපේ සෞඛ්‍ය පද්ධතිියට දරා ගන්න බැහැ. එක රෝගියෙකු වෙනුවෙන් මිලියන ගණන් වැය කරන්න වෙනවා.
රටක් විදිහට එවැනි රෝගීන් විශාල සංඛ්‍යාවකට එකවර ප්‍රතිකාර ලබා දීමට තරම් ආර්ථික හැකියාවක් අපිට නැහැ. මේ සියල්ල සැලකූ විට මූලික අවස්ථාවේදීම රෝග හඳුනා ගැනීම ඔස්සේ ප්‍රතිකාරවලට යොමුවීම ඉතාම වැදගත්. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ක්‍රියාත්මක කරන ආරෝග්‍ය වැඩසටහනේ මූලික අරමුණ තමයි රෝග ලක්ෂණ පහළ වනතෙක් බලා නොසිට බෝනොවෙන රෝග ඇත්දැයි හඳුනා ගැනීම සඳහා අදාළ පරීක්ෂණ වලට යොමුවන ලෙස ජනතාවට පණිවඩියක් ලබාදීම.”







