සංඛ්‍යාලේඛන හරහා රෝගීන් සහ මරණ අඩු බව පෙන්වමින් සිටියත් යථාර්ථය ඊට වෙනස් බවත්, සමාජයේ රෝගීන් අඩුවීමක් දක්නට නැති බැවින් පවතින තත්වය සැහැල්ලුවට නොගන වෙනදාටත් වඩා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.ඒ.යූ.ටී කුලතිලක ලංකාසරට පැවසීය.
ක්ෂේත්‍ර අත්දැකීම් සහිත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ තත්වය වඩාත් පැහැදිලි කරන්නේ මේ ආකාරයටය.
“මෙතෙක් කොවිඩ් ආසාදනය වුණු පුද්ගලයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් පී.සී.ආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කරලා තමයි රෝගීන් සොයා ගත්තේ. දැන් ඒ ක්‍රියාවලිය වෙන්නෙ නෑ. බරපතල රෝග ලක්ෂණ මතුනොවෙනවා නම් කොවිඩ් ආසාදිතයෙකුගේ පළමු පෙළ ආශ්‍රිතයන්ගේ පී.සී.ආර්. හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කරන්නෙ නෑ. ඔවුන් දින 14ක් නිවෙස් තුළ තියලා නිදහස් කරනවා.“
“දැන් වාර්තාවන්නෙ අහඹු ලෙස පරීක්ෂණ කරලා සොයා ගන්නා ආසාදිතයන් පමණයි. අපි තේරුම් ගන්න ඕන සමාජයේ සියයට අසූවක්ම ඉන්නේ ප්‍රබල රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් බව. තත්වය මේකයි. ඉතින් මේ තත්වයේ දී රෝගීන් වාර්තා වෙනවා අඩුයි.“
“කොවිඩ් මරණ ගැනත් කියන්න තියෙන්නෙ ඒ තත්වයම තමයි. මරණ අඩුවීමක් වෙන්නෙ මෙහෙමයි. මරණ කොවිඩ් මරණයක් ලෙස තහවුරු කරන ක්‍රමවේදයක් සහිත චක්‍රලේඛයක් තියනවා. ඒ චක්‍රලේඛය එන්න ප්‍රථම රෝගියෙක් කොවිඩ් ආසාදිතව සිටියා නම් දින 14ක් ගිහින් හරි මරණයක් සිද්ධ වුනොත් කොවිඩ් මරණයක් විදිහට ගත්තා. දැන් හුඟක් ලෙඩ්ඩු මැරෙන්නෙ දින 14 ගෙවලා දාලා ගෙවල්වලට ආවට පස්සේ. ගෙවල්වලදි. ඒ මැරෙන අය කොවිඩ් මරණ ලෙස සලකන්නෙ නෑ. කොවිඩ් නිවුමෝනියාව හැදිලා මැරුනොත් විතරයි කොවිඩ් මරණයක් ලෙස එය සලකන්නේ.“
“අපි දන්න තරමින් කොවිඩ් හැදිලා ඒ නිසාම මැරණු පිරිසක් ඉන්නවා කොවිඩ් විදිහට ගණනය වෙන්නෙ නැතිව.“
ඔවුහු කියති.