ශ්‍රියානි විජේසිංහ-
සෞඛ්‍ය අමාත්‍යංශය හා ඊට අනුබද්ධ ආයතනයන් තුළ දූෂණ වංචා සිදුකළ නිලධාරීන්ට විරුද්ධව ඉදිරි සති දෙක ඇතුළත නිසි ක්‍රියාමාර්ගයන් නොගතහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිව සිටි කාලය තුළ සංගමය කළ ඉල්ලීමකට අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ සිදුව ඇති වංචා දූෂණ සෙවීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කළ අතර එයින් වරදකරුවන් වූ නිලධාරින් අදට ද සෞඛ්‍ය අමාත්‍යංශයේ රැඳෙමින් කටයුතු කරන බව සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පෙන්වා දෙයි.
වසරකට රුපියල් බිලියන 200ක ප්‍රතිපාදන සෞඛ්‍ය සඳහා වෙන් කරන නමුත් ව්‍යාජ ඖෂධ හිඟයක් පෙන්වා ඖෂධ වැඩි මිලටක ගැනීමට මෙම නිලධාරීන් දිගින්දිගටම කටයුතු කර ඇති බවට තොරතුරු හෙළි විනැයි වෛද්‍ය නවීන්ද සොයිසා සඳහන් කරයි.
ශත 64ක ඖෂධ පෙත්ත රුපියල් 64කට මිලදී ගැනීම, රුපියල් 2ක පෙත්ත රුපියල් 468කට මිලදී ගැනීම වැනි වංචාවන් රැසක්ම සිදු කර ඇති බව ජනාධිපති කොමිසමේදී හෙලිවිනි.
මහජනතාවගේ මුදල් ගසා කෑ මෙම නිලධාරීන්ට විරුද්ධව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව හෙතෙම පෙන්වාදේ.
මෙවැනි නිලධාරීන්ට විරුද්ධව කටයුතු නොකරන්නේ නම් ඉදිරි සතිදෙක තුළදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව සංගමය අනතුරු අඟවා සිටියි.