ලලිත් චාමින්ද –
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය මගින් කොවිඩි වෛරසය ආසාදනය වී නොමැති බවට සඳහන් කරමින් ගාල්ල බන්ධනාගාරය වෙත යොමුකරනු ලැබු රිමාන්ඩ් සිරකරුවන් 20 දෙනෙකුට කොවිඩි වෛරසය ආසාදනයවී ඇති බවට පසුව දැනුම් දි ඇති බව ගාල්ල බන්ධනාගාරය පවසයි.
කොවිඩි වෛරසය ආසාදනය වී නොමැති බවට දැනුම්දීම නිසා ඇප නියම වු රිමාන්ඩ් සිරකරුවන් 09 දෙනෙකු නිවෙස්වලට පිටත්කර යැවීමට ගාල්ල බන්ධනාගාරය මගින් කටයුතුකර ඇත.
එම රිමාන්ඩ් සිරකරුවන්ට කොවිඩි වෛරසය ආසාදනය වී ඇති බවට බුස්ස බන්ධනාගාරය මගින් දැනුම් දී ඇත්තේ දිනකට පසුව බව ද ගාල්ල බන්ධනාගාරය පවසයි.
රිමාන්ඩි සිරකරුවන්ව සිට ඇප නියම වූ මේ පුද්ලයින් 09 දෙනා මේ වනවිට සමාජගතව ඇත. බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රිමාන්ඩි සිරකරුවන් 38 දෙනෙකු නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු පි.සි.ආර් පරික්ෂණ පවත්වා කොවිඩි වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරුකරගෙන ගාල්ල බන්ධනාගාරය වෙත ඉකුත් 17 දින යොමුකොට ඇත.
18 වැනිදින බුස්ස බන්ධනාගාරය මගින් යළි දැනුම් දී ඇත්තේ එසේ යොමුකරනු ලැබු රිමාන්ඩ් සිරකරුවන් 20 දෙනෙකුට කොවිඩි වෛරසය ආසාදනය වී ඇති බවය. මින් 09 දෙනෙකු ඇප මත මුදාහැර ඇති අතර ඉතිරි 11 දෙනා අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය වෙත යොමුකොට ඇත.
බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රිමාන්ඩි සිරකරුවන් 65 දෙනෙකු පී.සී.ආර් පරික්ෂණවලට ලක්කොට ඇත. එම සිරකරුවන් 65 දෙනාටම කොවිඩි වෛරසය ආසාදනය වී නොමැති බවට කරාපිටිය ශික්ෂණ රෝහලේ රසායනාගාරය මගින් දැනුම් දුන් බව බුස්ස බන්ධනාගාරය පවසයි.
පසුදින ගාල්ල සෞඛ්‍ය වෛද්‍යනිලධාරී කාර්යාලය මගින් ඉන් 21 දෙනෙකුට කොවිඩි වෛරසය ආසාදනය වී ඇති බවට දැනුම් දුන් බව ද බුස්ස බන්ධනාගාරය පවසයි.
මේ පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චිගෙන් අප කළ විමසුමකදී මෙසේ කිවේය.
“මටත් ඔය සිද්ධිය වාර්තාවෙලා තියෙනවා. බුස්ස බන්ධනාගාරය මගින් 15 වැනි දින තමයි රිමාන්ඩ් සිරකරුවන් 65 දෙනෙකුගේ පි.සි.ආර් සාම්පල් කරාපිටිය රෝහලේ රසායනාගාරය වෙත යොමුකරලා තියෙන්නේ. 16 දින තමයි ප්‍රථිපල ලබාදිලා තියෙන්නේ.“
“නමුත් මේ පිළිබද මා කරාපිටිය රෝහලේ රසායනාගාරයෙන් විමසීමක් කළා. එහෙම වෙන්න විදියක් නැහැ. 65 දෙනාගෙන් 21 දෙනෙකුට කොවිඩි වෛරසය ආසාදනය වි ඇති බවට පරික්ෂණවල දි තහවුරුවි ඇති බවට දැනුම් දුන්නා. පි.සි.ආර් පරික්ෂණ ප්‍රථිපල නිකුත්වන්නේ ඔන්ලයින් හරහා. යම් සිස්ටම් එකකට අනුව. වෙනදා වගේ පි.සි.ආර් ප්‍රථිපල ඊමෙල් කරන්නේ නැහැ. සිස්ටම් එකේ විනාඩි 05 විතර අන්තර් වෙලාවක් තියෙනවා. ඒ කාලය තුළ සියලුදේනා නෙගටිව් කියා දමලා පසුව තමයි පොසිටිව් අයගේ නම් ගම් සහිතව විස්තර දමන්නේ.“
“ඒ කාලය තුළ බුස්ස බන්ධනාගාරය මගින් මේ තොරතුරු බැලුවා ද දන්නේ නැහැ. බුස්ස බන්ධනාගාර අධිකාරිතුමාට දැනුම් දුන්නා නෙගටිව් බවට ලබාගත් ප්‍රින්ට් එක්ක ලබාදෙන්න කියලා. සිස්ටම් එකේ දෝෂයක් ද කියලයත් කියන්න බැහැ. එහෙත් ඔන්ලයින් මගින් 21 දෙනෙකු පොසිටිව් වි ඇති බව පෙන්වනවා.“ යැයිද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා සඳහන් කළේය..
කෙසේවුවද මේ වනවිට සමාජගත වී ඇති පුද්ගලයින් 09 දෙනා පිළිබද තොරතුරු ඔවුන් පදිංචි සිටින අදාල පොලිස් ස්ථාන වෙත දැනුම් දුන් බව ගාල්ල බන්ධනාගාරය පවසයි.