දිනසේන රතුගමගේ:
යාපනයේ චාවාකච්චේරී තෙන්මරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පිහිටි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ ප්‍රතිමාව වටා වූ මල් බදුන් ඇතුළු බොහෝ දේ 9 දා සවස කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දමා තිබේ.
වෙඩි තබා ඝාතනය කළ රවිරාජ් මහතා වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය මෙම ප්‍රතිමාව තනා මහජන ගෞරවය සදහා විවෘත කොට තිබූ අතර මෙවර මහ මැතිවරණයට රවිරාජ් මහතාගේ බිරිද වූ සෂිකලා රවිරාජ් මහත්මිය ඉදිරිපත් වීමෙන් පසුව මුලු යාපනය පුරා දැඩි දේශපාලන අර්බූදයක් හට ගෙන තිබේ.
දෙමළ ජාතික සන්ධානය ඉතා සැලසුම් සහගත ව තමන්ට හිමිව තිබූ මනාප සංඛ්‍යාව අඩු කොට තමන් මහ මැතිවරණයෙන් පරාජය කළ බව කියමින් ශෂිකලා මහත්මිය හා ඇගේ පවුලේ පිරිසක් දෙමළ ජාතික සන්ධානයට එරෙහිව රවිරාජ් ප්‍රතිමාව ඉදිරිපිට විරෝධතාවක් දියත් කිරීමෙන් පසුව කිසියම් පිරිසක් විසින් එම ප්‍රතිමාව වටා වූ බොහෝ දේ කඩා බිද දමා ඇත.
විරෝධතාවය පැවති අවස්ථාවේදී කලු පැහැති රෙදි වලින් වසා දමන ලද රවිරාජ් මහතාගේ ප්‍රතිමාවේ එම රෙදිද ප්‍රතිමාව අසල වූ සැරසිලි කඩා දැමීමට පැමිණි පිරිස විසින් රැගෙන ගොස් තිබේ.