හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගොනු කර ඇති නඩුව ජනවාරි 28 වන දින නැවත කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.
ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධ නඩුව අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර ඉදිරියේ අද (29) කැඳවූ අවස්ථාවේ දී ය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් සිටි නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
එමෙන්ම ඉකුත් නඩු දිනයේ අධිකරණය ආශ්‍රිතව සිදුවූ සිදුවීම්වලින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබේදැයි විමර්ශන සිදුකර ඊට වගකිව යුතු පුද්ගලයින් කවුරුන්ද, ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳවත් මීළඟ නඩු දිනයේ අධිකරණයට දැනුම්දෙන ලෙස මහෙස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.
ඉන් අනතුරුව නඩුව ජනවාරි මස 28 වනදා කැඳවීමට නියම විය.
පොදු දේපල පනත යටතේ ගොනුකළ චෝදනාවකට අදාලව අගෝස්තු 23 වන දින, ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටි හිටපු ජනාධිපතිවරයා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
තමන් ජනාධිපති ධුරය දැරූ කාලයට යටත්වන 2023 සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල රජයේ අරමුදල්වලින් රුපියල් මිලියන 1.66 ක් අයථා ලෙස පරිහරණය කළ බවට රනිල් වික්‍රමසිංහට එරෙහිව චෝදනා ගොනු වී තිබිණි.
අත් අඩංගුවේ දී බන්ධනාගාර රොහලේ සිට කොළඹ ජාතික රෝහලටත්, ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළ හිටපු ජනාධිපතිවරයා අගෝස්තු 26 වන දින නඩුව නැවත කැඳවන තෙක් එහි ගත කළේය.
රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වයේ බිහිසුණු කම ගැන අධිකරණයට කරුණු දක්වමින් ඇප අයදුම්පතක් ඉදිරිපත් කළේය.
ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසු, සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය විශේෂ අවස්ථාවක් ලෙස සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා ඇප ලබා දුන්නේය.







