අද අලුයම ජල විදුලිය නිෂ්පාදනය නොකරන අවස්ථාවක රන්දෙනිගල රන්ටැඹේ ජලාශවලින් ජලය මුදා හැරිබවට විදුලි බල හා බල ශක්ති ඇමති පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් එම ජලාශ භාර ඉංජිනේරුවරුන්ගෙන් කට උත්තර ගැනීම සදහා ගිය බුද්ධි අංශ නිලධාරීන් වෙත මේ සිදුවන්නේ ජල කළමනාකරණ ක්‍රියාවලියේ නිශ්චිත පටිපාටිට අනුකූලව සිදුවන සාමාන්‍ය ක්‍රියාවක් බවත් නොදැනුවත් ඇමතිවරුන්ගේ අනවශ්‍ය කලබලවීමත් සම්බන්ධව පැහැදිලි කර දීමට සිදුවීමේ පුවතක් වාර්තා වේ.
මේ සිද්ධිය පැන නගින්නේ රන්ටැඹේ සහ රන්දෙනිගල ජලාශ වල දොරටු කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙස විවෘත කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ම පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයත් සමගය.
එය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හැඳින් වූ ඇමතිවරයා ඉන් සිදුවන්නේ ජලය හිඟ වී ඉන්ධන වලින් බලාගාර දුවන්නට වන තත්ත්වයක් නිර්මාණය වීම බව කීවේය. අනතුරුව විදුලි පනතේ සංශෝධනයන්ට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ සිටි වෘත්තීය සමිතිවලට බැණ වදිමින් ඔවුන්ට රට බිත්තියට හේත්තු කරන්න ඉඩ දෙන්නට නොහැකි යැයිද කීවේය. මෙවැනි තත්ත්වයන් වැළැක්වීමට කඩිනමින් ආරක්ෂාව අවශ්‍ය යැයි ද පැවසුවේය.
මේ ප්‍රකාශයත් සමග කඩිනමින් විමර්ශනයක් කිරීම සදහා බුද්ධි අංශ මෙම ජලාශ භාර ඉංජිනේරුවරුන් සොයා ගොස් තිබිණි.
එහිදී එම බුද්ධි නිලධාරීන් තමන් ඉදිරියේ තබාගෙන මෙම ජල කළමනාකරණය සම්බන්ධව දීර්ඝ පැහැදිලි කිරීමක් කරදීමට ඉංජිනේරුවරුන්ට සිදු වී ඇත.
වික්ටෝරියා රන්දෙනිගල රන්ටැඹේ ජලාශ වලින් ජලය මුදාහරින්නේ ජල ලේකම් කාර්යාලයේ දැනුම්දීම මත අදාළ නිශ්චිත ක්‍රියා පටිපාටියකට යටත්වය. අද දින සිදුව ඇත්තේ ද ම ක්‍රියාවලිය ම ය.
සාමාන්‍යයෙන් ජල විදුලිය නිෂ්පාදනය කරන අවස්ථාවේ ජලය අදාල ජලාශවලින් පහලට ගලාගෙන යන අතර අද අලුයම ජල විදුලිය නිෂ්පාදනය නොකරන අවස්ථාවක මෙම ජලය මුදා හැරීම ඇමතිවරයා ගේ අදාල ප්‍රශ්නයට හේතු වී ඇත.
සාමාන්‍යයෙන් ජල කළමණාකරන ලේකම් කාර්යාලයේ දැනුම්දීමට අනුව මෙම ජලාශවලින් ජලය මුදාහැරීම සිදුවන අතර ඇමැතිවරයා විසින් අදාළ ප්‍රකාශය කරනු ලැබ ඇත්තේ ඔහුගේ නොදැනුවත්කම මත බව විදුලි බලාගාර භාර විදුලි ඉංජිනේරුවන් විමර්ශන අංශ වෙත පැහැදිලි කර ඇත.
මෙම ජලාශ වල ජල යෙන් ජල විදුලිය නිෂ්පාදනය කිරීමට අමතරව මිණිපේ ව්‍යාපාරය ගොවි කටයුතු සඳහා ජලය මුදා හැරෙන අතර අද දිනයේ දී රන්දෙණිගල හා රන්ටැඹේ ජලාශ ඔස්සේ ජලය සුළු ප්‍රමාණයක් මුදා හැර ඇත්තේ වගා කටයුතු වෙනුවෙන් ගොවි අවශ්‍යතා වෙනුවෙනි.
සිද්ධිය තේරුම් ගත් විමර්ශන නිලධාරීන් නැවත හැරී පැමිණ ඇත.