ඇති වූ සිදුවිම පිළිබඳ නිවැරදි සහ වගකීම් සහිත තක්සේරුවකින් තොරව රත්තවත්තේ වතු යාය තුළට සන්නද්ධ ආරක්ෂකයින් සමග පැමිණ අනීතික අශිෂ්ට හැසිරීමක් සහිතව කටයුතු කළ වතු යටිතල පහසුකම් ඇමති ජීවන් තොණ්ඩමන්ගේ හැසිරීම දැඩි ලෙස හෙළා දකිමින් රත්වත්ත වත්තේ සිද්ධිය පිළිබඳ අපක්ෂපාතී විධිමත් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා වැවිලිකරුවන් ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත.
සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම යටතේ ඇති ආයතනයක් වන රත්වත්තේ වත්තේ ඇති වූ සිද්ධිය පිළිබඳ සත්‍යය හෙළිදරව් කිරීමේ ක්ෂණික අවශ්‍යතාවයක් මතු වී ඇතැයි ද මැතිවරණයක් ආසන්නයේ දි දේශපාලන බලය සහිතව එළිපිට සිදුවන ඉඩම් කොල්ලයට එරෙහි යුක්තිය ඉටු වීමක් නොමැතිව වැවිලි ක්ෂේත්රය අනතුරකට නිරාවරණය වී ඇති ඇතැයි ද වැවිලි කරුවෝ ජනාධිපතිවරයාට කියා සිටිති.
ඔවුන් පවසන්නේ මෙම සිද්ධිය හුදකලා සිද්ධියක් නොවන බවය. මෙය වතු කළමණාකරුවන්ට වගවීමකින් රාජකාරිය ඉටු කිරීමට බාධා කරමින් දේශපාලනඥයන් කිහිප දෙනෙක් විසින් නිර්මාණය කර ඇති භීෂණයක් බවත් අන්තර්ජාලයේ පුළුල් ලෙස සංසරණය වන වීඩියෝ සාක්ෂි මේ ගැටුම සනාථ කරන බවත් ඔවුහු ජනපතිට දන්වා සිටිති.
ගැටුම ඇති කළ පුද්ගලයා රත්වත්ත වත්තේ වතු ප්‍රජාවට අයත් කෙනේක නොවේ….
පසුගිය දා ඇති වූ සිද්ධියට අදාල සිදුවීමේ දී රත්වත්තේ වත්තේ තාවකාලික ඉදිකිරීම සිදුකළ පුද්ගලයා මෙම අර්බුදය නිර්මාණය කළ බවත් මේ තැනැත්තා රත්වත්තේ වතු ප්‍රජාවට අයත් නොවන, වත්තේ නේවාසික සේවකයෙක් නොවන පිටස්තර පුද්ගලයෙක් බවත් වැවිලි කරුවන් වෙනුවෙන් එම සංගමයේ සාමාජික ධම්මික කොබ්බෑකඩුව ජනාධිපතිවරයා වෙත ලියූ ලිපියේ දක්වා ඇත.
මෙම ලිපියෙන් වැවිලිකරුවන් ජනපතිට දන්වන්නේ ඔවුන් අතිශයින් නීත්‍යානුකූලව සහ වගකීම් සහිතව කටයුතු කළ බවත් මුලින්ම වතු අධිකාරීවරයා මේ අනවසර පදිංචිකරුවා සම්බන්ධයෙන් පොලිසියට විධිමත් පැමිණිල්ලක් කළ බවත්ය.
එම ලිපියට අනුව අනතුරුව පොලිසිය මෙම පුද්ගලයාත් වතු පාලන අධිකාරියත් ගෙන්වා කළ විමසිමේ දී මෙම පුද්ගලයා තත්ත්වය පිළිගෙන අනවසර ඉදිකිරීම් ඉවත් කර භූමියෙන් ඉවත් විමට එකඟ වී ඇත.
දින කීපයකට පසු එසේ ඉවත් නොවී සිටීම සම්බන්ධව මෙම පුද්ගලයාගෙන් වතු අධිකාරීවරයා විමසීමේ දී ඔහු ප්රකෝපකාරී ලෙස හැසිරී අශ්ලීල භාෂාවෙන් ඇමතීමත් සමග තත්ත්වය අනපේක්ෂිත මුහුණුවරක් ගෙන එය වෙනත් මානයකට තල්ලු වී තිබේ.
මෙම තත්ත්වය රජයේ වතු පාලකවරයෙකුට රාජ්‍යයට අදාළ භාරකාර අයිතිවාසිකම් සම්බන්ධයෙන් වගකීමේ භූමිකාව පිළිබඳ පැහැදිලි කරගැනීමක් අවශ්‍ය බව වැවිලිකරුවෝ පෙන්වා දෙති.
ඔවුන් පෙන්වා දෙන්නේ වතු සමාගම්වල විෂය පථය තුළ ඉඩම් පිළිබඳ හිමිකම තහවුරු කිරීම සඳහා වතු කළමනාකරුවෙක් නීත්‍යානුකූලව බැඳි සිටින බවය.
මැතිවරණ චක්‍රයක් ආසන්නයේ සිදු වන මෙවන් අනීතික ආක්‍රමණයක් ඛේදජනක ලෙස ජීවන් ඇමතිවරයා සමග ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බව වතු පාලකවරු ජනපතිට පෙන්වා දෙති.
තොණ්ඩමන්ගේ මැදිහත් විම
තොණ්ඩමන් ඇමතිවරයා සහ ඇමති ආරක්ෂක කණ්ඩායමේ සන්නද්ධ සාමාජිකයින් හය දෙනෙකු සභාපතිවරයාගේ උදෙස් මත සිය රාජකාරිය පැහැදිලි කිරීමට ගිය ඇල්කඩුව වැවිලි සමාගමේ සාමාන්‍යාධිකාරී සුරේෂ් නවතරන්නම් වෙත දැඩි පීඩනයක් එල්ල කර ඇති බව වැවිලිකරුවෝ ජනපතිට දන්වති.
අමාත්‍යවරයාගේ සංචාරයේ දී සුරේෂ් නවරත්නම් පැමිණ සිටියේ සිද්ධිය පිළිබඳ වගකීම් සහිතව කරුණු පැහැදිලි කිරීමට බවත්, තොණ්ඩමන් ඇමතිවරයාගේ සෘජු තර්ජනයෙන් සිදුවිය හැකි ව්‍යසනකාරී ප්‍රතිඵලයක් වැලැක්වීමට ඉක්මන් මැදිහත්වීමක් අවශ්‍ය වූ බවත් ඔවුහු ජනපතිට පැහැදිලි කරති.
“මෙම සිදුවීම බිය ගැන්වීමේ සහ ප්රචණ්ඩත්වයේ පුනරාවර්තන රටාවක නොසන්සුන් අඳුරක් වෙත අපව ඇද දමා ඇත.“ “ වතු අංශය තුළ මෙම හැසිරීම සීමා කර දෙන ලෙසත්, සමකාලීන දේශපාලන ආචාර ධර්ම වර්ධනය කිරීම සඳහා කරන උත්සාහය තවත් වැඩි කරන ලෙසත්, සියලු දෙනාම නීතියේ ආධිපත්‍යයට යටත් කරමින් එම මූල ධර්මය හරහා යුක්තිය සහ සමානත්වය ස්ථාපිත කරන ලෙසත් අපි ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.” වැවිලි කරුවන් වෙනුවෙන් එහි සාමාජික ධම්මික කොබ්බෑකඩුව ජනාධිපතිවරයාට ලියා ඇත්තේ එසේය. ,
නිශ්චිත දේශපාලනයකට අනුබද්ධ පිටස්තරයන් රජයට අයත් වතු තුළ කරන ආක්‍රමණය වතුකරයේ අඛණ්ඩතාවය නැති කරනවා පමණක් නොව, ප්‍රාදේශීය ප්‍රජාවන් අස්ථාවර කරන බවත් වැවිලි නායකයෝ ජනපතිට කියති.
පූර්ණ විමර්ශනයක් අවශ්‍යයයි…
අපක්ෂපාතීත්වය සහ යුක්තිය පිළිබඳ මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා පූර්ණ විමර්ශනයක් අවශ්‍ය බවත්, නීතියේ ආධිපත්‍යය කෙරෙහි තමන්ගේ දැඩි පක්ෂපාතීත්වය සැලකිල්ලට ගෙන, එය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් ජනපතිගෙන් ඔවුහු ඉල්ලා සිටිති. .
රත්වත්තේ වත්තේ සිද්ධියෙන් අවධාරනය කරන්නේ වගවීම සහ අපක්ෂපාතී පරීක්ෂණයක් සඳහා වූ දැඩි අවශ්‍යතාව බවත් සවිස්තරාත්මක පරීක්ෂණයක් පැවැත්වීම කමිටුවේ විෂය පථය ඇතුළත් විය යුතුය බවත්, සත්‍යය හෙළිදරව් කිරීම, ගැටුමට වගකිවයුතු පාර්ශ්වයන් හඳුනා ගැනීම සහ මෙවැනි තත්ත්ව යළි ඇති නොවීමට විනිවිද පෙනෙන නීතිමය රාමුවක් ස්ථාපිත කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් බවත් වැවිලි නායකයෝ ජනපතිට දන්වා සිටිති.
වැවිලිකරුවන් ජනපතිට යැවූ ලිපිය පහත දිගුවෙන් බලන්න….