අතිශයින් සුරක්ෂිත යැයි උපකල්පනය කර දැඩි අවධානයකට ලක් නොවන අධි ආරක්ෂිත සේප්පු බිඳ රුපියල් කෝටි ගණනින් සොරකම් කළ ශූර චෞරයෙක් අත් අඩංගුවට ගෙන ඔහු විසින් සිදුකළ විශ්වාස කළ නොහැකි සොරකම් 17ක් පිළිබඳ අනාවරණය කරගැනීමට පොලිස් විමර්ශකයෝ ඊයේ (05) සමත් වූහ.
ඒ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.
පසුගිය 30 දා රාත්‍රියේ හලාව පොලිස් වසමේ හලාවත කොළඹ පාරේ පිහිටි පීපල්ස් ලීසිං ආයතනයේ අධි ආරක්ෂිත යකඩ සේප්පුව බිඳ 70,96,939.66 ( හැත්තෑ ලක්ෂ අනු හය දහස් නවසිය තිස් නවයයි ශත හැට හයක්) කොල්ලා කා තිබුණේය. සේප්පුවේ ඇති මුදල් කොල්ල කා තිබුණේ ඩ්‍රිල් මෙෂිමක් වැනි උපකරණයකින් සේප්පුවේ ඝනකම් යකඩ ආවරණය කපා සිදුරු කිරීමෙනි.
සිද්ධිය පිළිබද පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විමර්ශන ආරම්භ කළේය. අපරාධයට සැක පුද්ගලයෙක් විමර්ශනය සිදුකළ නිලධාරින් පසුගිය 03 වැනිදා කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත්තේය. මෙසේ අත් අඩංගුවට ගත්තේ තැනිපිටිය දෙනියාය ලිපිනයේ පදිංචි ප්‍රතාප සහන් සංජීව නැමැති 29 හැවිරිදි තරුණයෙකි. ඒ සමගම සේප්පුව බිඳ දැමිමට යොදා ගත් හිලටි යන්ත්‍රයකට සවි කරන බම්බු කටර් තල., ග්‍රයින්ඩර් මැෂිමක්, තල, ගෙවල් බිඳිම සඳහා යොදා ගන්නා උපකරණ තොගයක් පොලිස් භාරයට ගනු ලැබුවේය.
අපරාධයට අනුබලදීම සමිබන්ධව කොතලාවල කඩුවෙල පදිංචි කාන්තාවක් ද සහ මැඩලවිලහේන පස්ගොඩ පදිංචි කාන්තාවක් ද අත් අඩංගුවට ගෙන තිබිණි
මවිතකරන අපරාධ ලයිස්තුව
ඔහුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීම ඇරඹිනි. ඔහුගෙන් අනාවරණය වන්නේ මෙතෙක් කිසිම සැකකරුවෙක් අත් අඩංගුවට නොගත් දිවයින පුරා සිදුවුන අපරාධ 17ක තොරතුරුය. එම සෑම අවස්ථාවකම ඔහු විසින් බිඳ දමා තිබුනේ අධි ආරක්ෂිතව තැන්පත් කර තිබුණු මුදල් සහ ස්වර්ණාභරණය.
කුරණෑගල රෝමනි උකස් ආයතනයේ පිටුපස දොරේ ඉබි යතුරු කඩා ඇතුළු වී ආයතනයේ සේප්පුව සිදුරු කර රුපියල් එක් කෝටි අනු ලක්ෂයකට ආසන්න වටිනාකමක් සහිත රන් භාණ්ඩ කොල්ල කා තිබිණි. අපරාධ කරුවෙක් අත් අඩංගුවට ගෙන තිබුණේ නැත. ඒ අපරාධය සිදුකර තිබුණේ මොහුය.
කොල්ලුපිටියේ ඩයලොග් ආයතනයේ කයඩ දොරටුව ග්‍රයින්ඩරයෙන් කපා ඇතුළු වි සේප්පුව සිදුකර ඒ තුළ තිබූ රුපියල් දෙලක්ෂ අසූ දහස් හත්සිය අසු හතරක මුදලක් සොරකම් කර තිබිනි. සොරකම කර තිබුණේ මේ තැනැත්තාය.
කඳාන පොලිස් වසමේ යකඩ දොරටු ග්‍රයින්ඩරයෙන් කපා ඇතුළු වී සේප්පුව කපා රුපියල් හය ලක්ෂ විසි හත් දාස් හතිලක මුදලක් සොරකම් කරන්නේත්, ගල්ගමුව පොලිස් වසමේ බෑග් අලෙවිසලකට කඩා වැදී මුදලින් රුපියල් හත් ලක්ෂ හැත්තෑ හත් දහසක් සොරකම් කරන්නේත්, ගල්ගමුවේම දුරකථන අලෙවිසලක් බිඳ රුපියල් හතලිස් හතර දහස් නවසියයක මුදල් සහ දේපල සොරකම් කරන්නෙත් මොහුය.
මේ ප්‍රශ්න කිරීමේ දී මාවනැල්ල, වරකාපොල, හංවැල්ල. සීදුව, අනුරාධපුරය, යක්කල, නවගමුව. රත්නපුර, අවිස්සාවේල්ල, ඇහැලියගොඩ, කඩවත, වත්තල, පොලිස්වසම්වල වෙළෙදසල් සහ මූල්‍ය ආයතන බිඳ සිදුකළ සොරකම් 12ක් සම්බන්ධව සැකකරු අනාවරණය කළේය.
මෙතෙක් අපරාධකරුවෙක් හෙළි නොවුන කඳාන, කිරිබත්ගොඩ, පිලියන්දල, ජාඇල, මහරගම. නවගමුව, බොරලැස්ගමුව, දෙහිවල ප්‍රදේශවල අපරාධ ස්ථාන 16ක සටහන්ව තිබූ ඇඟිලි සලකුණුවලින් එම අපරාධ සඳහා ද මෙම සැකකරු සම්බන්ධ බවට තහවුරු වි තිබිණි.
විශේෂත්වය වන්නේ මේ හෙළි නොවුන අපරාධ ගණනාවට අමතරව හෙළි කරගත් අපරාධ සඳහා අධිකරණවලින් විවෘත වරෙන්තු 16ක් ද ඔහුට විරුද්ධව නිකුත් කර තිබීමය.
හිතුවොත් කොහොමහරි වැඩේ කරනවා
“කොහොමද මේ අපරාධ සැලසුම් කරන්නේ…” විමර්ශකයින් සැකකරුගෙන් විමසා සිටි ප්‍රධානම ප්‍රශ්නය වූයේ එයය.
“ එහෙම එකක් නෑ.. ඇතුළට යන්න ඕන නම් යකඩ දොරක් හරි කපලා ඇතුල් වෙනවා..” ඔහු කියා තිබුනේ හිතුවොත් කොහොම හරි ගේම ගහන බවය. විමර්ශකයින් අනාවරණය කරගෙන තිබුනේ සැකකරු ක්‍රමවේදය තෝරා ගන්නේ ස්ථාන්යේ ස්වරූපය සහ තමන්ට පහසුම ප්‍රවේශය අනුවය. ඔහු රාත්‍රී කාලයේ මේ අපරාධ සිදුකළේය. තමන් කොල්ලකන ස්ථානය පිළිබඳ නිවැරදිම තොරතුරු නිරික්ෂණය කරගැනීම සඳහා දිවා කාලයේ දී ඔහු එම ප්‍රදේශයේ සමීපව හැසිරුනේය. ඒ සීසීටීවී දර්ශනයකින් හෝ සැකයක් උපදවා ගත නොහැකි ආකාරයටය.
අපරාධ ස්ථානයට ඇතුළු වීමේ දි ඔහුට පහසුම ආකාරය තෝරාගෙන තිබුණු අතර ප්‍රවේශයට කිසිම අකාරයක් නැතිනම් ඔහු නොපැකිලව යකඩ දොරටු කපා දැම්මේය.
මේ තරම් සල්ලි මොකට ද?
මේ තරුණයා දැඩි ලෙස කැසිනෝ සූදුවට ඇබ්බැහි වී සිටි අයෛක් බව ප්‍රශ්න කිරීමේ දි හෙළි විය. දිවා රෑ නැතිව ජීවිත අවදානම ද ගෙන මාරක අපරාධ කරමින් කොල්ල කෑ ධනය ඔහු කැසිනෝ සූදුපලේ දිය කර හැර තිබිණි.
රටක් තිගැස්වූ සැඟවුන අපරාධකාර සූදු අන්තුවා මේ වනවිට දිර්ඝ කොල්ලකෑම් හෙළිදරව්වක් සමග පොලිස් අත් අඩංගුවේය. ඔහු පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙමින් ඇත.