බංග්ලාදේශයේ ආනයන අපනයන කටයුතු සඳහා කොළඹ වරාය භාවිතා කිරීම වෙනුවට එරට සිට මැදපෙරදිග දක්වා සෘජු නෞකා සේවයක් ආරම්භ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වරාය මෙහෙයුම්වලට ලැබෙන ප්‍රතිඅපනයන ආදායමෙන් සියයට 10ත් 15ත් අතර ප්‍රමාණයක් අහිමි වී යනු ඇති බව වරාය සේවා පිළිබඳ විශේෂඥයෙක් ‘ලංකාසර’ට පැවසීය.
පසුගිය කාලය තුළ කොළඹ වරාය ආශ්‍රීත වරාය සේවා, අකාර්යක්ෂම වීමත්, භාණ්ඩ ප්‍රවාහන වියදම් අධික වීමත් හේතුවෙන් බංග්ලාදේශයේ ආනයන හා අපනයනකරුවන්, ශ්‍රී ලංකාව වෙනුවට වෙනත් කාර්යක්ෂම හා ලාභදායී විකල්ප සෙවීමට පෙළඹී ඇති බව එම විශේෂඥයා පැවසීය.
බංග්ලාදේශ බලධාරීන්ට අනුව, බංග්ලාදේශයේ ‘චටෝ ග්‍රාම්’ වරායේ සිට ඩුබායි දක්වා, සෘජු නෞකා සේවයක් ආරම්භ කිරීම සඳහා, මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඊට පෙර බංග්ලාදේශයේ ආනයන හා අපනයන බොහෝ විට සිදු කෙරුණේ ශ්‍රී ලංකාව ප්‍රති අපනයන කේන්ද්‍රය ලෙස යොදා ගනිමිනි.
එහිදී භාණ්ඩ කුඩා නෞකාවල සිට කොළඹ වරායට ගෙනැවිත්, එතැන් සිට, කොළඹට පැමිණෙන විශාල ප්‍රමාණයේ නැව්වලින් භාණ්ඩ ප්‍රවාහනය කෙරුණි. කොළඹ හරහා භාණ්ඩ ප්‍රවාහනයේදී, අදාළ ගමනාන්ත සඳහා දින 45ක් ගත වුව ද නව මාර්ගය හරහා, දින 18ක් තුළ භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි බව එම නෞකා සේවය ආරම්භ කරන ‘සයිෆ් පවර්ටෙක්’ සමාගම පවසයි. ඔවුන් එක වරකට කන්ටේනර් 1700ක් පමණ රැගෙන යාමට අදාළ පහසුකම් සලසා ඇත.
බංග්ලාදේශ ආනයන අපනයනකරුවන් ශ්‍රී ලංකාව මඟ හැරීම හේතුවෙන් සැලකිය යුතු විදේශ විනිමය ආදායමක් ශ්‍රී ලංකාවට අහිමි වෙනු ඇතැයි ‘ලංකාසර’ ට කරුණු අනාවරණය කළ එම නිළධාරියා තවදුරටත් සඳහන් කළේය.