පසුගිය 11 වැනිදා පමණක් පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ජන් පරීක්ෂණවලින් රටේ වාර්තා වුණු කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 5414ක් බව එම්.එස්.එම්. මුසාමීල් හෙළිදරවු කරයි. ඔහු මේ හෙලිදරවුව කරන්නේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පසුගිය අගොස්තු මස 05 වැනිදා සිට අඛණ්ඩව කොවිඩ් ආසාදිතයන් 5000කට වඩා රට තුළ වාර්තා වී යැයි ඔහු සංඛ්‍යා ලේඛණ සහිතව පවසයි..
නමුත් පසුගිය 11 වැනිදා ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේ මුළු රටේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 2890 ක් ලෙසය.
පසුගිය 05 වැනිදා සිට 10 වෙනිදා දක්වාම රට තුළින් කොවිඩ් ආසාදිතයන් 5000කට වඩා වැඩියෙන් වාර්තා වු බවත් මන්ත්‍රීවරයා කීවේය.
නමුත් ඒ කාලය පුරාම රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සමස්ථ කොවිඩ් ආසාදිතයන් ලෙස වාර්තා කලේ ආසාදිතයන් තුන්දහසකට අඩුවෙනි.
ඒ අගෝස්තු 05 ආසාදිතයන් 2269, අගෝස්තු 6 වැනිදා 2792ක්, අගෝස්තු 7 වැනිදා 2796ක්, අගෝස්තු 8 වැනිදා 2956ක්, අගෝස්තු 09 දා 2938ක් හා අගෝස්තු 10 2904ක් වශයෙනි.
මන්ත්‍රීවරයා කීවේ පසුගිය 10 වැනිදා ගම්පහ පැවති කොවිඩ් කමිටු රැස්වීමේදී හෙළි දරවු වූයේ දින 09ක් තුළ කොවිඩ් ආසාදිතයන් 12555ක් බවත් ඒ අනුව ගම්පහින් පමණක් හමුවන දෛනික ආසාදිතයන් සංඛ්‍යාවේ සාමාන්‍ය 1395ක් බවත්ය.
ඒ අතුරින් 4000කට වැඩි ප්‍රමාණයක් රෝහල්ගත වූ බව කියන මන්ත්‍රීවරයා මේ කාලය තුළම ගම්පහින් වාර්තා වූ ආසාදිතයන් ගණන තුන්සිය ගණනින් වාර්තා කර ඇති ආකාරය පෙන්වා දුන්නේය.
මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ඉහළ හමුදා නිලධාරියෙක්, වසංගත මර්ධන ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් මේ කොවිඩ් දත්ත වෙනස් කිරීමේ තිරශ්චීන මෙහෙයුමක නිරතවන බවය. මේ හමුදා නිලධාරියා කවරෙක් දැයි යුද හමුදාපතිවරයාට සොයා ගත හැකි බවද ඔහු කීවේය.
මේ දත්ත වෙනස් කිරීම නිසා ආසාදිතයන්ට සාපේක්ෂව වාර්තාවන කොවිඩ් මරණ අනුපාතය වෙනස් වී රට ලෝකයෙ ඉදිරියේත් විකෘති වන බව ඔහු පැවසුවේය.
මේ නිසා ජනාධිපතිවරයා ගන්න තීරණ වැරදි වෙනවා මෙන්ම කොවිඩ් මෙහෙයුම් ක්‍රියාවලියේ සමස්ථයත් බිඳවැටෙන බව මන්ත්‍රීවරයා කීවේය.
ඔහු පැවසුවේ මේ පසුපස විපක්ෂයේ කුමන්ත්‍රණයක් ඇති බවය. ඔවුන්ට එරෙහිව පරීක්ෂණ පවත්වා නීතිය ක්‍රියාත්මක නොකළහොත් වැරදි දත්ත මත ගන්නා තීන්දු නිසා රට බිහිසුණු අර්බුදයකට ලක්විය හැකි බවත් එම්.එම්. මුසාමීල් පැවසීය.
කෙසේවෙතත් මේ පිළිබඳව සෞඛ්‍ය අංශවලින් කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ දැනට ප්‍රකාශිත චක්‍රලේඛ ප්‍රකාරව කොවිඩ් මරණ ලෙස සැලකෙන්නේ කොවිඩ් නිවුමෝනියාවෙන් සිදුවන මරණ පමණක් බවත්, බෝ නොවන රෝග, හෘදයාබාධ සහිත රොගීන් මිය යන විට කොවිඩ් ආසාදිතව සිටියත් එම මරණ කොවිඩ් මරණ සේ නොසැලකෙන බවය.
මේ වනවිට නිරෝධායනය වන නිවෙස්වලින් පිට සිදුවන ගෘහස්ථ මරණ සඳහා පී.සී.ආර්. පරීක්ෂණ අත්හිටුවා ඇති බවත් කී එම ආරංචි මාර්ග මේ හේතුවෙන් කොවිඩ් මරණ විය හැකි මරණ ප්‍රමාණයක් සංඛ්‍යාලේඛනවලට හසු නොවී ඇති බව පැහැදිලි කළේය.