රටවල් කිහිපයක් විසින් චීනය විසින් එරට සින්ජියැන්ග් ප්‍රදේශයේ සිදුකරන බවට වාර්තා වන දරුණු මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන ලෙසට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරියගෙන් ඉල්ලා තිබේ.
ඒ අනුව ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් හට කඩිනමින් මෙම වාර්තාව ලබා දෙන ලෙස නෙදර්ලන්තය ඇතුළු රටවල් 47 ක් ඒකාබද්ධව මෙම ඉල්ලීම කර ඇත. එහිදී මෙම ඉල්ලීම ජිනීවා හී නෙදර්ලන්ත තානාපති පෝල් බේකකර්ස් විසින් ආදල රාජ්‍යන් සියල්ල වෙනුවෙන් ඉදිරිපත් කර ඇත.
එහිදී තානාපතිවරයා පවසා ඇත්තේ“ අපි චීනයේ සින්ජියැන්ග් ප්‍රදේශයේ උයිගර් මුස්ලිම් වැසියන්ට එරෙහිව සහ අනෙකුත් සුළු ජාතින්ට මුහුණ දෙන දැඩි මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවනවා.” යනුවෙනි.
මෙම වාර්තා ඉදිරිපත් කරමින් තානාපතිවරයා පෙන්වා දී ඇත්තේ චීනය විසින් එරට සුළු ජාතියක් වශයෙන් වෙසෙන මුස්ලිම් ජාතිකයින් ලක්ෂ දහයක් පමණ බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවයි. එහිදී මෙම ජනතාව බලහත්කාරයෙන් වන්ද්‍යාකරණයට ලක්කරන බවට චෝදනා එල්ල වී තිබේ.
එහිදී චීනය විසින් මෙම මුස්ලිම් වැසියන් නිරත්නර වඳ බන්ධනයන්ට ලක්කරන බවත් ඔවුන්ව බලහත්කාරයෙන් ශ්‍රමිකයින් ලෙස යොදා ගන්නා බවත් ඇතැම් විට ලිංගික අඩත්තේට්ටම් වලට පවා මුහුණ දීමට සිදුවන බවටද චෝදනා කර ඇත.
මේ අතර වසර 17කට පසු ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයෙකු චීනයේ පළමු වරට සංචාර කළේද මෙම මීට සති කිහිපයකට ඉහතදීය. එහෙත් මෙම සංචරයේදී මානව හිමිකම් මහ කොමසාරිස්වරයට නිසි ලෙස සිය නිරීක්ෂණ සිදුකිරීමට අවස්ථාව නොලැබුණු බවටද බටහි රටවල් චෝදනා එල්ල කරනු ලැබීය.
කෙසේ වෙතත් මෙම තත්ත්වය මත අදාල ඉල්ලීමක කළ රටවල් ඇතුළු රාජ්‍යන් රැසක් මානව හිමිකම් මහ කොමසාරිස්වරියටද යම් දෝශාරෝපණයක් එල්ල කළ අතර ඇයට වඩා විදිමත්ව සිය නිරීක්ෂණ ඇතුලත් කර කඩිනමින් වාර්තාවක් සකස් කරන ලෙසට ඉල්ලා තිබේ.
මෙම තත්ත්වය හමුවේ ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් තමන් දෙවන වරට ධුරකාලයක් දැරීමට බලාපොරොත්තු නොවන බවටද ප්‍රකාශ කර ඇත.