දිනසේන රතුගමගේ –
අඩු ආදායම් ලාභීන්ට නොමිලේ සහල් කිලෝ දහය බැගින් ලබා දෙන රජයේ ව්‍යාපෘතිය යටතේ මුලතිව් කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ලබා දුන් සහල් මිනිස් පරිභෝජනයට නුසුදුසු බව පළාතේ සංවිධාන කීපයක් මුලතිව් දිසාපතිවරයාට පැමිණිලි කොට තිබේ.
මුලතිව් කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවුල් 1254 ක් සඳහා පලමු වටයේ දී සහල් කිලෝ ග්‍රෑම් 12540 ක් බෙදා දී ඇති අතර ඉන් අඩකට වඩා සහල් ප්‍රමාණයක් මිනිස් ආහාරයට ගත නොහැකි බවට චෝදනා එල්ල වී ඇත.
මෙම ප්‍රදේශයේ වැසියන් අතර දෙවන වටය සඳහා තවත් සහල් කිලෝ ග්‍රෑම් 12540 ක් බෙදා හැරීමට නියමිතව ඇති අතර එම සහල් ගැන දැඩි අවධානයක් යොමු කරන ලෙස දිසාපතිවරයා වෙත සිදුකරන ලද පැමිණිල්ලේ සඳහන් කොට තිබේ.
මුලතිව් දිස්ත්‍රික්කය තුළ ඉතා පිරිසිදු හා ගුණාත්මක භාවයෙන් යුතු ඉස්තරම් වර්ගයේ සහල් තොග තිබියදී පිට පළාත්වලින් මිලට ගෙන ඇති මෙම සහල් තොග මිනිස් ආහාරයට නුසුදුසු නිසා දෙවන වටයේදී ගම්වාසීන්ට ලැබෙන සහල් මුලතිව් පළාතෙන් මිලට ගෙන බෙදා හරින ලෙසද මුලතිව් කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වැසියන් දිසාපතිවරයාගෙන් ඉල්ලා ඇත.
මුලතිව් දිසාපති ඒ.උමා මහේස්වරන්ට මේ පැමිණිල්ල ලැබීමෙන් පසුව වහාම මේ පිළිබඳව සොයා බලා තමන්ට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස 25 දා මුලතිව් කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුලු නිලධාරීන්ට ලිපියක් මගින් දැණුම් දී තිබේ.