දිනසේන රතුගමගේ –
රජයට විරෝධය පලකිරීම සදහා දෙමළ දේශපාලන පක්ෂ විසින් පිහිටුවා ගෙන තිබෙන ඒකාබද්ධ දෙමළ සන්ධානය 17 දා යළිත් වරක් රැස්වී යාපනය තරුණ සංගම් ශාලාවේදී සාකච්ඡාවක් පැවැත්වූහ.
විග්නේස්වරන් මන්ත්‍රීවරයා වෙනුවෙන් මෙවර එම සාකච්ඡාව කැඳවා තිබුණේ උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සෂිහරන් විසිනි.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මෙවර සාකච්ඡාවට පැමිණ සිටීම විශේෂ සිද්ධියක් වූ අතර ඔහු මෙතෙක් ඒකාබද්ධ දෙමළ සන්ධානයේ සාකච්ඡාවලට සහභාගී වී නොසිටියේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කතා කළ ආනන්දි සෂිහරන් කියා සිටියේ සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ සාකච්ඡාවට සහභාගී නොවීම නිසා ඔහුව දෙමළ ද්‍රෝහියෙකු වශයෙන් පසුගිය කාලයේදී ජනතාව අතර හංවඩු ගැසුණු බවයි.
ඇත්ත වශයෙන්ම දෙමළ ප්‍රශ්න පිළිබදව පෙනී නොසිටින දෙමළ දේශපාලනඥයින් තමන්ද හදුන්වන්නේ දෙමළ ද්‍රෝහීන් වශයෙන් බව ආනන්දි සෂිහරන් හිටපු අමාත්‍යවරිය මෙහිදී කියා සිටියාය.
යුද්ධයෙන් පසුව දෙමළ ජනතාවට කිසිදු පාලකයෙකුගෙන් කිසිදු සහනයක් උදා නොවුණු බව කී ආනන්දි සෂිහරන් ජනාධිපතිවරුන් තුන් දෙනෙකු මේ කාලය තුළ දෙමළ ජනතාවට හමු වූවත් ඔවුන්ගෙන් කිසිවෙකුත් දෙමළ ජනතාවට ඇති ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු නොකළ බවටද චෝදනා කළාය.
වත්මන් රජයෙන්ද දෙමළ ජනතාවට කිසිදු සහනයක් ලැබෙන බවක් පෙනෙන්නට නොමැති නිසා රජයට එරෙහිව විරෝධය පල කිරීම සඳහා ජාත්‍යන්තරයේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද ආනන්දි සෂිහරන් මෙහිදී කියා සිටියාය.
අතීතයේදී මෙන් දෙමළ දේශපාලන පක්ෂ හා ජනතාව රජයට එරෙහිව උද්ඝෝෂණ උපවාස හා විරෝධතා පැවැත්වීම පලක් නොවන නිසා ජාත්‍යන්තරය හමුවේ රජය දෙමළ ජනතාවට නොසලකන බව කියා සිටීමට දේශපාලන පරිසරයක් නිර්මාණය කරගත යුතු බවද මෙහිදී පැවසුවාය.
මෙම සාකච්ඡාව සදහා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ඇතුලු උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හතරක නියෝජිතයෝ සහභාගී වූහ.