මනම්පිටිය – නිමල් ජයරත්න
-
සමහර දේශපාලකයන් බෙදුම් වාදය වපුරනවා… සෙසු ජාතීන්ට මෙන් සිංහල ජනතාවටත් මඩකලපුවේ දී සම අයිතිවාසිකම් තිබිය යුතුයි – ආණ්ඩුකාරවරිය
යුද්ධය නිමාවී වසර දහතුනකට පසුව නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා ප්‍රදේශ්යේදී ප්‍රථම සිංහල පාසල විවෘත කිරීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්ගේ ප්‍රධානත්වයෙන් අද ( 24 ) සවස කල්කුඩා ප්‍රදේශයේ දී සිදුවිය.
සිරි සීලාලංකාර සිංහල විද්‍යාලය ලෙස නම්කරන ලද මෙම විදුහල සඳහා ගම්මාන කීපයක සිසුන් විසිපස් දෙනෙක් අද ඇතුළත් කරගත් අතර වසර 30 ක යුද්ධය පැවති කාලයේ මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල පාසල් දාහතක් වැසී ගොස් තිබිණි.
මඩකලපුව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී දේවගල දේවාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම උත්සවය පැවති අතර ඊට සමගාමීව මඩකලපුව දිස්ත්‍රීක්කයේ දහම් ප්‍රබෝධය පැතිරීම සඳහා දමිල දරුවකු ඇතුළු සිව් දෙනෙකු සසුන් ගත කිරීමට ද කටයුතු කෙරිනි.
පැවති කුරිරු යුද්ධයේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ සිටි සියලු සිංහල ජනතාව දකුණු පළාත දක්වා ගමන් කළ බවත්, යුද්ධය අවසානයෙන් පසු පවුල් දෙසීයක් පමණ මඩකලපුව දිස්ත්‍රික්කයට පැමිණියද අධ්‍යාපන අයිතිවාසිකම් එම් පවුල් වලට නොතිබුණ බවත්, පරිත්‍යාගශීලීන්ගේ සහ දානපතීන්ගේ දායකත්වයෙන් අද මඩකලපුව දිස්ත්‍රික්කයේ ආරම්භ වු මෙම පළමු සිංහල විද්‍යාලය ඉතිහාසගත වන විද්‍යාලයක් බවත් මඩකලපුව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මන්ඩලයේ ලේඛකාධිකාරී දේවගල දේවාලංකාර නාහිමියෝ සඳහන් කළහ.
මෙහිදි උත්සව සභාව අමතමින් නැගෙනහිර පලාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සඳහන් කළේ මඩකලපුව දිස්ත්‍රික්කයේ සෙසු ජාතින්ට මෙන්ම සිංහල ජනතාවටද සමාන අයිතිවාසිකම් සහ අධ්‍යාපනයේ අයිතිවාසිකම් හිමිවිය යුතු බවය.
මඩකලපුව දිස්ත්‍රික්කයේ සමහර දේශපාලනඥයින් බෙදුම්වාදය ඇති කිරීමෙන් සිංහල ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගැනීමට කටයුතු කරමින් සිටින බවත්, එය දේශපාලන වාසි උදෙසා සිදුකරන බවත්, පළාතේ ජීවත් වෙන සියලු ජනතාවට සමානාත්මතාවය හිමිවන පරිදි කටයුතු කළ යුතු බවත් ආණ්ඩුකාරවරිය සඳහන් කළාය.
මෙම අවස්ථාවට, පරිත්‍යාගශීලීන්, දානපතීන් මෙන්ම විශාල පිරිසක් එක්ව සිටියහ.