දිනසේන රතුගමගේ –
යාපනය වඩුක්කෝඩෙයි පොලීසියෙන් තමන්ට පහර දුන් බවට යාපනයේ මානව හිමිකම් කාර්යාලයට පැමිණිලි කළ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවා වහාම අත් අඩංගුවට ගන්නා ලෙස යාපනය පොලිස් අධිකාරීවරයා ඊයේ (6) වඩුක්කෝඩෙයි පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.
මෙම පැමිණිල්ල දමා ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ පදිංචි කරුණාකරන් නිදර්ශන් නමැති 27 හැවිරිදි ශිෂ්‍යයෙකි.
මෙම තරුණයා මානව හිමිකම් කාර්යාලයට කළ පැමිණිල්ලෙන් පසුව පොලිස් අධිකාරීවරයා විසින් සිදු කළ පරීක්ෂණයකදී හෙළි වී ඇත්තේ යාපනය විශ්ව විද්‍යාලයේ මෙම සිසුවා උග්‍ර ලෙස මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවය.
යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් මත්ද්‍රව්‍යවලට හුරුකරවීමත් ඔවුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කිරීමත් මෙම සිසුවා විසින් සිදු කොට ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.
එමෙන්ම ඔහු පාපැදියකින් හා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අවස්ථා කීපයකදීම පාසල් සිසුවියන්ට උසුළු විසුළු කරමින් ඉතා වේගයෙන් ශිෂ්‍යාවන් අසලින් යතුරු පැදිය හා පාපැදිය ධාවනය කොට ඇති බවටද පොලීසියට තොරතුරු ලැබී ඇත.
තම දියණියන් අනතුරට ලක් කිරීමට හිතා මතාම කටයුතු කළ බවට මෙම විශ්වවිද්‍යාල සිසුවාට එරෙහිව යාපනයේ පොලීසි කීපයකටම දෙමව්පියන් පිරිසක් විසින් පැමිණිලි ඉදිරිපත් කොට ඇත.
ඒ අතරවාරයේ හොරකමක් සම්බන්ධයෙන් මොහුව යාපනයේ වඩුක්කෝඩෙයි පොලීසියට කැඳවා ප්‍රශ්න කරමින් සිටි අවස්ථාවේදී ඔහු පොලිසියෙන් පලාගොස් මානව හිමිකම් කොමිෂන් කාර්යලට පැමිණිල්ලක් සිදු කොට ඇති බවත් ඔහු සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ හා ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීම අවසන් නොමැති නිසා වහාම ඔහුව අත් අඩංගුවට ගෙන ඔහුට එරෙහිව ඇති චෝදනා විභාග කිරීමටත් ඔහු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරණ ලෙසත් යාපනය පොලිස් අධිකාරීවරයා වඩුක්කෝඩෙයි පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දී ඇත.
ඒ අනුව වඩුක්කෝඩෙයි පොලිසිය ඔහුව අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.







