අයවැයට පෙර මහින්ද රාජපක්ෂට අගමැති ධූරය ලබා ගැනීම සඳහා පොහොට්ටුවේ මහින්ද හිතවාදීන් කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
තමන් නම් කළ මන්ත්‍රීවරුන් සහිතව ඇමති මණ්ඩලය පත් නොකරන්නේ නම් 22වැනි ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරන බවට මුලින් අනතුරු අඟවා මීට දින කීපයකට පෙර ඒ ඉල්ලීමම මුල් කරගෙන අයවැය පරාජය කරවන බවට අනතුරු ඇඟවීමට ගොස් ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු රහිත දැඩි ප්‍රහාරයකට ලක්ව හැරී පැමිණියේ මෙම කණ්ඩායම බව දැනගන්නට ඇත.
ඔවුන් දැන් ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ අයවැයට පෙර මහින්ද යළි අගමැති ධූරයට පත්කරගත නොහැකි වුවහොත් අයවැය පරාජය කරන බවය.
දැනගන්නට ඇති ආකාරයට මෙම පිරිස මහින්ද යළි අගමැති කිරීම සම්බන්දව දිනේෂ් ගුණවර්ධන සමග ද සාකච්ඡා කර තිබේ. එහිදී දිනේෂ් ගුණවර්ධන දන්වා ඇත්තේ මහින්ද එනවා නම් ඔහු අගමැති ධූරයෙන් ඉවත් වෙන්නට සූදානම් බවය.
අයවැය ඡන්ද විමසීමට පෙර මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත් කරගැනීමේ ස්ථාවරය යටතේ දිගින් දිගටම මේ පිරිස පොහොට්ටුවේ සාමාජිකයන් සමග සාකච්ඡා පවත්වමින් ඇති බව වාර්තා වේ.
ඔවුන්ගේ උත්සාහයට බැසිල් හිතවාදී කණ්ඩායම දායක නොවී දැනට නිහඬව බලා සිටින බවත් මෙම මෙහෙයුමට බැසිල් රාජපක්ෂ සම්බන්ධ නැති බවත් අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය.