යන්නෙ නෑ කියන අගමැතිට යන්න කියන ජනපතිගේ නිල දැන්වීම අද …

අගමැති මහින්ද රාජපක්ෂට සහ කැබිනට් මණ්ඩලයට නිල වශයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා විසින් අද (28) නිල වශයෙන් දැනුම් දෙනබව ජනාධිපති මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද සවස පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේ දී මෙම ඉල්ලීම කිරීමට නියමිතව ඇතැයි පැවසේ.

අගමැති මහින්ද රාජපක්ෂ පසුගිය වකවානුව තුළ දිගින් දිගටම කියා සිටියේ තමන් කිසිම අවස්ථාවක ධුරයෙන් ඉල්ලා අස් නොවන බවය.

ඇගමැතිවරයා කැබිනට් මණ්ඩලය සමග   ඉල්ලා අස්වීමෙන් අන්තර්වාර රජයක් සඳහා යෑමට ඉඩ ලබා දිය යුතු බවට ඊයේ ජනාධිපතිවරයා විසින්  කළ ප්‍රකාශයෙන් අනතුරුවත්   තමන්ට එවැනි දැනුම් දීමක් නොලැබුණේ යැයි අගමැතිවරයා කීවේය. ජනාධිපතිවරයා එවැනි යෝජනාවක් කරනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවත් ඔහු පැවසුවේය.


එහෙත් මේ වනවිට අවස්ථා දෙකක දී අගමැතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස  ජනපති විසින් අගමැතිවරයා හමුවීමට ගොස් දන්වා ඇතැයි ඉහත ආරංචි මාර්ග අනාවරණය කරයි.

දිනෙන් දින ජනතා විරෝධය වැඩිවන අතර රටේ  සමාජ ආර්ථික හා දේශාපලන ප්‍රශ්න උත්සන්න වී ඇති බැවින් ඊට විසඳුම් සෙවීම සඳහා විකල්ප ක්‍රියාමාර්ගවලට යොමුවීමට අවකාශය සලසා දෙමින් ඉල්ලා අස්වීම කාලෝචිත ලෙස සලකා යළිත් ජනාධිපතිවරයා විසින් මෙම ඉල්ලීම කිරීමට යන බව ඉහත ආරංචි මාර්ග අනාවරණය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර මෙම ඉල්ලීමට ඇහුම්කන් දී අගමැතිවරයා ප්‍රමුඛ පොදුජන පෙරමුණු කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනීමට සැලසුම් කර ඇති බවත්, ඒ අනුව අගමැතිවරයා සහ ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බවට එහි රැඳී සිටිමින් හඬ නගන ඔවුන්ගේම ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙක් අගමැති ධුරයට පත් කරගැනීමට කටයුතු යොදා තිබෙන බවත් ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version