දිනසේන රතුගමගේ –
බාල වයස්කාර යතුරුපැදි කරුවන් දෙදෙනෙක් සිදුකළ අනතුරු නිසා දරුවන් දෙදෙනෙක් මිය ගිය පුවත් දෙකක් යාපනයෙන් වාර්තා වේ.
යාපනයේ මට්ටුවිල් ප්‍රදේශයේ අට හැවිරිදි කුඩා දරුවක් ඊයේ (14) සිය මවගේ යතුරු පැදිය මිදුලේ ධාවනය කරවීමේදී ඊට යට වූ අවුරුදු එකහමාරක දැරියක් සිද්ධිය වූ ස්ථානයේම මිය ගොස් තිබේ.
මව ඇගේ යතුරු පැදිය මිදුලේ නවතා තිබියදී කුඩා දරුවා එය පණ ගන්වා ධාවනය කරවීමේදී මිදුලේ සෙල්ලම් කරමින් සිටි ඔහුගේ ලදරු නැගනියගේ උදරය මතින් එම යතුරු පැදිය ධාවනය වීම නිසා මේ අනතුර සිදුව තිබේ.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ යාපනය තෙන්මරච්චි මට්ටුවිල් ගම්මානයේ ගජේන්ද්‍රන් සුවසිනී නැමති දැරියයි.
චාවාකච්චේරී පොලීසිය සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර මියගිය දැරියගේ සිරුර පරීක්ෂණ කටයුතු සදහා යාපනය ශීක්ෂණ රෝහලට බාරදී තිබේ.
ඒ අතර ඊයේ (14) අළුත් අවුරුද්දට විනෝදය සදහා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි යාපනයේ බාල වයස්කාර සහෝදරයින් දෙදෙනෙකු වෑන් රථයක ගැටීම නිසා බාල සහෝදරයා සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබේ.
යාපනයේ නාවලර් පාරේ කනගරත්නම් විද්‍යාලය අසලදී සිදු වූ මෙම අනතුරෙන් වයස අවුරුදු 8 ක් වූ සහෝදරයා මියගොස් ඇති අතර වයස අවුරුදු 12 ක් වූ අනෙක් සහෝදරයා බරපතල ලෙස තුවාල ලබා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
යාපනය පොලීසිය අදාල වෑන් රථයේ රියදුරුව අත් අඩංගුවට ගෙන යාපනය අතිරේක මහේස්ත්‍රාත් නාලිනී සුදාකරන් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රියදුරාව මේ මස 20 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස නියෝග කොට තිබේ.







