දිනසේන රතුගමගේ –
යාපනයේ වඩමරච්චි වතිරායන් මුහුද මැදදී ප්‍රහාරයට ලක් වූ ධීවරයෙකු මරදන්කේණී රෝහලේදී 25 දා මියගොස් තිබේ. මෙම ධීවරයා තවත් ධීවරයෙකු සමග මුහුදු ගොස් මසුන් මරමින් සිටියදී අධික වේගයෙන් එම ස්ථානයට පැමිණි බෝට්ටුවක සිටි පිරිසක් මේ ධීවරයටත් අනෙක් ධීවරයාටත් පහර දී ඇත.
අනෙක් ධීවරයා මුහුදට පැන පසුව බෝට්ටුවේ එල්ලී කෑ කෝ ගැසීමෙන් පසුව වෙනත් ධීවරයින් පිරිසක් පැමිණ ඔවුන් දෙදෙනාව බේරා ගෙන තිබේ.
පහර කෑමෙන් තුවල ලැබූ ධීවරයා මරදන්කේණි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ වතිරායන් ප්‍රදේශයේම පදිංචි මතියාස් බෙනඩික්ට් වින්සන්ට් නැමති අවුරුදු 46 ක ධීවරයෙකි.
මෙම ධීවරයාට පහර දුන් පිරිස දිවි ගලවා ගෙන සිටින ධීවරයාටද හදුනාගැනීමට නොහැකි බව ඔහු පොලීසියට පවසා තිබේ.
ප්‍රහාරයට පැමිණි පිරිස මේ ධීවරයින් දෙදෙනාගේ බෝට්ටුව තුළ තිබූ රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා දැල් තොගයක්ද පිහි වලින් කපා බෝට්ටුවටද උල් ආයුධයකින් ඇණ අලාභ හානි සිදු කොට ඇත.
පොලීසිය සැකකරන්නේ මේ ධීවරයාට විරුද්ධ ධීවරයින් පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවය.
මරදන්කේණී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







