දිනසේන රතුගමගේ –
මුලතිව් මුල්ලිවයික්කාල් කල්ලිකාඩු ප්‍රදේශයේදී වෙඩි වැදී මියගිය දළ ඇතාගේ මළ සිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලද වන ජීවී නිලධාරීන් හා පොලීසිය එම දළ ඇතාට වෙඩි තබන ලද තුවක්කුවත් ඇතාගේ දළ යුවලත් සමග එක් සැකකරුවකු ඊයේ ( 31 ) අත් අඩංගුවට ගෙන තිබේ.
මුලතිව් මුල්ලිවයික්කාල් කල්ලිකාඩු ප්‍රදේශයේදී වන අලියෙකු මියගොස් සිටින බවට ප්‍රදේශවාසීන් පිරිසක් මීට දින කීපයකට පෙර පොලීසියට තොරතුරු දන්වා ඇති අතර පොලීසිය හා වන ජීවී නිලධාරීන් කළ පරීක්ෂණ වලදී හෙළිවී ඇත්තේ මියගොස් ඇත්තේ ඇතකු බවත් කිසියම් පිරිසක් ඇතාට වෙඩි තබා දළ යුවල කපා ගෙන ගොස් ඇති බවත්ය.
පොලීසියට ලද තොරතුරක් මත එක් අයෙකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී දළ ඇතාට වෙඩි තබන ලද තුවක්කුව නිවසේ තිබී හමු වී ඇති අතර ඇත් දළ යුවල මඩේ සගවා තිබියදී සොයා ගැනීමට පොලීසියට හැකි වී තිබේ.
මුලතිව් මුල්ලියාවලෙයි පොලීසිය මෙම සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වන අතර සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.