අහිංසක මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව උපයෝගි කරගෙන ජාවාරම් කිරිමෙන් අවසානයේ සිදුවන්නේ බුදුදහම රටෙන්ම තුරන්වීම යැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ පවසති.
මේ දැන් සිදුවන්නේ මිනිස්සුන් අන්ධ භක්තියෙනුත් අන්ධ භක්තියට ඇදගෙන යාම බවත්, මේ විනාශයට බුදුදහම නොදන්නා භික්ෂුන් වහන්සේ වගකිව යුතුව ඇ.ති බවත් උන් වහන්සේ කියති.
ත්‍රිපිටකය හෙවත් පර්යාප්ති ශාසනය විනාශකර අහිංසක මිනිස්සුන් භක්තිවාදය කරා ඇදගෙන යාම මහ විනාශයක ආරම්භය බවත් ලෝකයේ බෞද්ධ රටවල් රැසක් විනාශවුයේ මෙවැනි කුමන්ත්‍රණ තුළින් බවත් උන් වහන්සේ කියති.
විශේෂ ප්‍රකාශයක් කරමින් හෑගොඩ විපස්සි හිමියෝ මෙසේද කියති.
” රුවන්වැලිසෑය හැදෙන තැන, හැදෙන හැටි ගැන බුදු හාමුදුරුවෝ දේශනාකර තිබෙනවා කියලා රාධ හිමියන් මෑතක කියා තිබුණා. ඒක අමුලික බොරුවක්. අහිංසක මිනිස්සුන් නොමඟ යවන මේ වගේ බොරු කියන්න එපා කියලා අපි ඒ හාමුදුරුවන්ට කියනවා. බුදු හාමුදුරුවෝ රුවන්වැලිසෑය ගැන හෝ ලංකාව ගැන හෝ කරපු කිසිම දේශනයක් ත්‍රිපිටකයේ කොහේවත් නැහැ. ඇස් පියාගෙන , දෙනුවන් අඬවන් කරගෙන දැන දැන බොරු කියන්න තරම් පහත් තත්වයට අපේ භික්ෂුන් වහන්සේ පත්විම හරිම කනගාටුදායකයි.”
“දැන දැන බොරු කියන්නාට කළ නොහැකි පවක් නැතැයි බුදු හාමුදුරුවෝ රාහුලෝවාද සුත්‍රයේ දේශනා කර තිබෙනවා. මේ සියලු දේම අවාසනයේ එකතුවන්නේ බුදුරදුන් ලංකාවේ උපන්නා කියන ජාවාරමටයි.
“බෝගසක ආශ්චර්යක් කියමින් පසුගිය කාලයේ මිනිස්සුන් මිත්‍යාවට ඇදගෙන ගි යා.ඊට පස්සේ වැව් අමුණු පිටින් පිරිත් කරනවා කියන ජාවාරමක් පටන් ගත්තා. පස්සේ චෛත්‍යවලට රෙදි ඔතන්න පටන් ගත්තා. ලක්ෂ ගණන් අරිහතුන් බිහිවේවා කියලා පුජාවක් කළා. මේ වගේ භක්තිවාදයට බෞද්ධයන් ඇදගෙන යන කුමන්ත්‍රණ වරින්වර රටේ බිහිවුණා. දැන් නම් කොහොමත් අරි – හතුන් තමයි බිහිවි සිටින්නේ. දහමට හතුරොයි දැන් බිහිවි සිටින්නේ.
මේවගේ භක්තිවාදයට යොමුකරන දේවල් සිදුකරන ප්‍රධාන ආයතනවල භාරකාර හිමිවරුත් මේ විනාශයට වගකිය යුතුයි. මේ වගේ නාඩගම් කරනවිට උන් වහන්සේලාට පුළුවන් කම තිබෙන්න ඕනේ මොනවද මේ විකාර වැඩ කියලා අහන්න. නමුත් මුලින්ම අපේ ගිහියන් මෙන්ම මේ බොහෝ හිමිවරුන් මුලින්ම බෞද්ධ කරලා ගන්න ඕනේ. බුදුදහම කියන්නේ මොකක්ද කියලා නොදන්නා කම නිසා තමයි මේ සියලු විනාශයන් හමුවේ කවුරුත් නිහඬව ඉන්නේ.
එළිවෙනකල් නොවේ සතිගණන් බුදුගුණ හෝ අරියවංශ දේශනාව හෝ වෙනත් දේශනාවක් කිව්වට වැඩක් නැහැ. බුදුගුණ අනන්තයි කිය කියා ඉඳලා වැඩක් නැහැ. ඒ අනන්ත බුදුගුණ තුළින් ජිවිත ගැඩගස්වා ගන්නා ආකාරයයි කියා දිය යුත්තේ.
මේ කාලයේ ආර්ථික වශයෙන් මිනිස්සුන් මහත් අමාරුවකින් ජිවත් වෙන්නේ. දරුවන්ට කන්න දෙයක් නැහැ. මේවගේ කාලයක අහිංසක මිනිස්සුන්ගේ තියෙන තුට්ටු දෙකත් ඇදලා අරන් එළිවෙනකල් බුදුගුණ අනන්තයි කියලා වැඩක් නැහැ.
මිනිස්සුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්නා ආකාරය බුදු හාමුදුරුවෝ අනන්තවත් දේශනා කර තියෙනවා. යහපත් ලෙස හරිහම්බකරලා යහපත් ලෙස වියහියදම් කරන විදිය ඒ දේශනාවල සදහන් වෙනවා. ජනතාව රැස්කරලා හාමුදුරුවරු කරන්න ඕනේ අන්න ඒ දේශනා පැහැදිලි කර දිමයි.ඒ අනුව ජිවත්විමට උපදෙස් දෙන එකයි කරන්න ඔිනේ.
ඔරටේ ඔය පුදපුජාවලින් මහ ලොකු බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවුණානම් අද උතුරෙ පන්සලක හාමුදුරුවෝ කෙනෙක්ට වස්වසන්න ඉඩ තිබුණා. අද ඒ තත්වය තියෙනවාද. මේ භක්තිවාදය නිසා භෞතික හා ආධ්‍යාත්මික යන ආයතන දෙකම කඩා වැටෙනවා. අද පුජා පැකේජ් පුජා රැලි ඇවිල්ලා.
මේක අතිභයානක දෙයක්. අතීතයේදි මාලදිවයින වගේ බෞද්ධ රටවලටත් සිදුවුනේ මේ විපතමයි. මේවා කුමන්ත්‍රණ. මේ රටවලට සිදුවුනු දේ ගැන ගැඹුරින් විමර්ශනයක් කළොත් වැටහේවි මොකක්ද සිදුවුනේ කියලා .මුලින්ම කළයුත්තේ අපේ බොහෝ ගිහියන්ට මෙන්ම භික්ෂුන් වහන්සේටත් බුද්ධාගම ඉගැන්විමයි. හෑගොඩ විපස්සි හිමියෝ පවසති







