භාෂිකා හීන්දෙණිය –
කොග්ගල පිහිටි නිවසකට වැදි වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කළ මිනී මැරුම් සිද්ධියක ප්‍රධාන චූදිතව බන්ධනාගාරගත වි සිටින රොෂාන් නැමැති අපරාධකරුගේ මවට අම්බලන්තොට සිට කොග්ගල දෙසට ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක් තුළ දී වෙඩි තබා ඝාතනය කරන්නට තැත් කළ අපරාධකරුවන් දෙදෙනා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේය.
වෙඩි ප්‍රහාරයට ලක් වී තිබුණේ අම්බලන්තොට කොග්ගල කඩවර පදිංචිකාරියක වූ ලසන්තා රෝහිණී නැමැති 47 හැවිරිදි කාන්තාවකි. ඇය සිය පුතාගේ නඩු කටයුත්තකට පෙනී සිට නිවස බලා එද්දී ඝාතකයින් ඇය ගමන් කළ බස් රථය ලුහුබැඳ පැමිණ මදයමලලන්ද ප්‍රදේශයේ දී බස් රථය හරස් කර නවත්වා බස් රඨත තුළට ගොඩවී වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබිණි.
මෙම කාන්තාවට වෙඩි තැබීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇත්තේ කඩවර ඉෂාර නැමැති 31 හැවිරිදි පුද්ගලයෙකි. ඝාතනය සැලසුම සඳහා පැමිණි යතුරුපැදිය පැදවා ඇත්තේ ඔහුගේ මිතුරෙකි. මිතුරා ආර්. ඩිල්ෂාන් නැමැති 31 හැවිරිදි තැනැත්තෙකි. හම්බන්තොට වරාය පොලිස් වසමට අයත් තැලවිල්ල ප්‍රදේශයේ සැඟවී සිටිය දී පොලිසිය විසින් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබිණි.
මේ ඝාතන තැතට හේතුව ගව සොරකමක් පිළිබඳ ඇති වූ ආරවුලකි. පසුගිය ජූලි මස 18 වැනිදා රාත්‍රි කාලයේ දි වෙඩි ප්‍රහාරයට ලක් වූ කාන්තාවගේ පුතාවන රොෂාන් සහ පිරිසක් කඩවර ඉෂාරගේ නිවසට පැමිණ කඩවර ඉෂාරගේ බිරියගේ පියා වෙඩි තබා ඝාතනය කර තිබිණි. ඝාතකයින් පැමිණ තිබුණේ කඩවර ඉෂාර ඝාතනය කිරීම සඳහාය. එම ඉලක්කය වැරදි ගොස් ඔහුගේ මාමාන්ඩිය ඝාතනය විය. එහි පළිය ගැනීමට රොෂාන්ගේ මව ඝාතනය කිරීමට කඩවර ඉෂාර සැලසුම් කර තිබිණි.
අත් අඩංගුවට පත් කඩවර ඉෂාර පොලිසියට කියා තිබුණේ මෙවැන්නකි.
“මාව මරන්න ඇවිත් වැරදිලා වයිෆ්ගේ තාත්තට වෙඩි තියලා මැරුවා. ඒකෙ පලිය ගන්න තමයි මාමන්ඩිට වෙඩි තිබ්බ එකාගේ අම්මට බස් එක ඇතුළෙම මැරිලා වැටෙන්න හිතාගෙන වෙඩි තිබ්බේ. “
එහෙත් බස් රථයේ ගමන් ගත් පිරිසගේත් ඉලක්ක වූ කාන්තාවගේ 19 හැවිරිදි දියණියගේත් මර ලතෝනිය නිසා ඉලක්කය වැරදී හිසට තැබූ වෙඩි පහර කාන්තාවගේ උරහිසට වැදී තිබිණි.
වෙඩි තැබූ අපරාධකරු පලා ගියේය. කාන්තාව බැරගම ප්‍රාදේශීය රෝහලටත් එතැනින් හම්බන්තොට මහ රෝහලටත් ඇතුළත් කෙරිනි. ඝාතන තැත සඳහා යොදා ගත් බෝර 12 ගිනි අවියත් පොලිස් අත් අඩංගුවට ගෙන ඇත. මාතර අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.