මහනුවර බූවැලිකඩ කඩාවැටුණු පස්මහල් නිවසේ හිමිකරු අනුර ලෙව්කේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ඔක්තෝම්බර් 13 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
මෙම නඩු කටයුත්ත වෙනුවෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළ මහනුවර පොලිසියේ පොලිස් පරීක්ෂක සමරනායක බණ්ඩාර මහතා කියා සිටියේ නිවසේ හිමිකරු අනුර ලෙව්කේ නමැත්තා නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම හේතුවෙන් ජීවිත හානි සිදුවීම මෙන්ම නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම හේතුවෙන් දේපොළ හානි සිදුවන ලෙස කටයුතු කිරීමේ වැරදි සිදු කර ඇති බවයි.
අගතියට පත් පාර්ශවය වූ මියගිය චමිල ප්‍රසාද්, අචලා ඒකනායක සහ ඔවුන් දෙදෙනාගේ බිළිඳිය ඔනෙලා වෙනුවෙන් මෙම නඩුව සඳහා මහනුවර නීතිඥ සංගමයේ නීතිඥවරුන් 101 දෙනෙක් ඉදිරිපත් වී සිටීම විශේෂත්වයකි.
අනුර ලෙව්කේ මහතාගේ පාර්ශ්වයෙන් අධිකරණයට කරුණු දැක්වූ දැක්වූ නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා විනාඩි 20ක විස්සක පමණ දීර්ඝ කරුණු දැක්වීමක් මෙහිදී සිදු කළේය. ලෙව්කේ මහතාගේ පාර්ශවයෙන් නන්ද සේනානායක, සමන් තන්තිරිගේ, තිස්ස සෙනෙවිරත්න යන නීතිඥවරුන් ද ඉදිරිපත් වී සිටිති.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙය දීර්ඝ ලෙස අධ්‍යයනය කළ යුතු නඩු නිමිත්තක් වන බැවින් සැකකරු ලබන ඔක්තෝම්බර් ඔක්තෝබර් 13 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරමින් නඩුව කල්තැබීය.