අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහත්තුරුන්ගේ ක්‍රීඩාව හෙළිකොට්ටෙන් යවන පච්ච වනියලා ගේ කෂඩකමේ කතාව…

by editor
ජූලි 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ෆවුස් මොහොමඩ් –

  • මුන්ගේ ඇඟවල්වල තියන පච්චා ගානට ලෝක කුසලානයේ දී  ලකුණු ගත්තා නම් අප රටක් ලෙස මේ තරම් කුජීත වන්නේ නැත…

වනිඳු හසරංග විස්සයි20 නායකත්වයෙන් ඉල්ලා අස්වූයේ ඊයේ පෙරේදාය. ඔහුගේ ඉවත් වීම පුදුමයක් නොවන්නේ එය වැඩිදෙනකු බලාපොරොත්තුවෙන් සිටි බැවිනි. විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ දැඩි පසුබෑමකට ලක්ව මූලික වටයෙන්ම ඉවතට විසි වීමෙන් ශ්‍රී ලංකා පිලේ නායකයා දැඩි විවේචනයට ලක් වී සිටියේය. එපමණක් නොව ඔහුගේ නායකත්වයේ ගති ලක්ෂණ ද අන්තිම පහළ තත්ත්වයක පැවතීම නිසා ක්‍රීඩාලෝලීන් සිටියේ කලකිරීමෙනි. සමාජ මාධ්‍ය ජාලයේ පෝස්ටු පිට පෝස්ටු වැටෙන්නට වූයේ වනිඳුගේ නායකත්වය දැඩි ලෙස විවේචනයට ලක් කරමිනි. වනිඳු හසරංග ලෝක පූජිත පිතිකරුවන් දණගැස්වූ දඟපන්දු යවන්නකු ලෙස ප්‍රකටව සිටියත් ක්‍රීඩකයකු ලෙස ඔහුගේ හැසිරීම අන්තිම බිංදුවට වැටී තිබිණි. ඇතැමුන් ඔහු හඳුන්වනු ලැබුවේ මෑත කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ බිහි වූ අවිනීතම ක්‍රීඩකයා හැටියටය.

ඔහු ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකත්වයට පත්වී මාස 7ක්වත් නැත. ඒ කාලය ඇතුළත වනිඳුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව තරගාවලි කිහිපයක්ම දිනාගත් බව සැබෑය. එහෙත් පිටියේදී මෙන්ම පිටියෙන් පිටතදීත් ඔහුගේ හැසිරීම නම් දැඩි විවේචනයට ලක් වූ එකකි. මේ වසරේ මුල් භාගයේදී බංග්ලාදේශයට එරෙහිව එරට පැවැති එක්දින තරගාවලියේ තුන්වැනි තරගය අතරතුර විනිසුරු තීරණයකට එරෙහි වීමත්, ඊට පෙර මාසයේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව දඹුල්ලේ පැවති විස්සයි20 තරගයේදී නිපන්දුවක් සටහන් කිරීමට එරෙහිව ශ්‍රී ලංකාවේ විනිසුරුවරයකු සමඟ උණුසුම් වාදයක පැටලීමත් නිසා වනිඳු අයිසීසීයේ උදහසට ද ලක්වූවෙකි. නියම නායකත්වයේ හැඩතල හා ගති ලක්ෂණ ඔහු වෙතින් දිස්වූයේම නැත. බරපතළම කාරණාව ද එය විය.

අනිත් අතට ඔහු අයිසීසී දඬුවමෙන් හැදුණු ක්‍රීඩකයකු ද නොවන බව පසුගියදා එල්පීඑල් තරගාවලියේදී යළි යළිත් පෙන්නුම් කළ ක්‍රීඩකයෙකි. මෙවර එල්පීඑල් තරගාවලියේදී කැන්ඩි ෆැල්කන්ස් පිලේ නායකයා ලෙසත් කටයුතු කරන වනිඳුට ආරම්භයේදීම රුපියල් ලක්ෂ 11ක දඩයක් ගෙවන්නට සිදු වූයේ ද එනිසාය. එසේ වූයේ තරගාවලියේ නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් නීති විරෝධී ඇඳුම් භාවිත කිරීමේ චෝදනාවට වරදකරු වීමෙනි. සෑම කණ්ඩායමකම ක්‍රීඩකයන්ට වෙන් වෙන් වශයෙන් නිල ක්‍රීඩා ඇඳුම් පැලඳුම් ක්‍රිකට් උපකරණ ලබාදී තිබුණ ද, ඔහු පිටියට පිවිසියේ වෙනත් ලාංඡනයක් සහිත ආරක්ෂිත හිස් වැස්මක් පැලඳගෙනය. එය ඉවත් කිරීමට තරග විනිසුරු දැනුම් දුන් විට විනිසුරු තීරණයට එරෙහිව ඔහු ප්‍රකෝපකාරීව හැසිරීම දඬුවමට හේතු වී තිබිණි.

තවත් අවස්ථාවක තරගයෙන් පසු පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයට ඔහු පෙනී සිටියේ සෙරෙප්පු පැලඳගෙනය. එය ද තරගාවලියේ බලධාරීන්ගේ දැඩි අවධානයට ලක්විය. පිටියෙන් පිටතදීත් ඔහුගේ විනය විරෝධී හැසිරීම් ගැන කතා බොහෝ ය. ඒවා තම පෞද්ගලික කාරණා බැවින් කිසිවකු ඒ ගැන වද වීමට අවශ්‍ය නැතැයි ඔහු සිතුවා විය හැකිය. එහෙත් එවැනි හැසිරීම් හා සිදුවීම් නිසා ක්‍රීඩාවට හා ශ්‍රී ලංකාවේ කීර්තියට හානියක් සිදුවන්නේ නම් එය පෞද්ගලික කාරණාවලින් ඔබ්බට ගිය එකක් බවට පත් වන්නේ නිතැතින්මය.

තවමත් 26 හැවිරිදි වියෙහි පසුවන මේ දකුණත් දඟපන්දු යවන්නාට ක්‍රිකට් පිටියේ තවත් යායුතු දුර බොහෝ ය. එවකට ලෝක පූජිත දඟපන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අභිමානය ද ඔසවා තැබුවේ මුත්තයියා මුරලිදරන්ය. වනිඳු යනු එවැනිම ගෞරවයක් සහ කීර්තියක් අත්කර ගත හැකි ඊළඟ පරපුරේ දඟපන්දු යවන්නා බව අවිවාදිතය. ක්‍රීඩා පිටියේදීත්, පිටියෙන් පිටතදීත් ජනතාව අතර දැඩි අප්‍රසාදයට ලක්වන ආකාරයේ හැසිරීම් රටාවක් පෙන්නුම් කරමින් සිටින්නේ එවැනි ක්‍රීඩකයෙකි. කනගාටුවට කරුණ එය ය. කවුරුත් කතා වන්නේ දස්කම් අතින් කොතරම් ඉහළින් සිටිය ද, විනය අතින් අන්තිම බිංදුවට පිරිහුණු ක්‍රීඩකයකු නම් එවැනි ක්‍රීඩකයකුගෙන් රටට වැඩක් නැති බවය.

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

වනිඳු හසරංග මේ යන්නේ බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් නමැති අවිනීත ක්‍රීඩකයාගේ අඩි පාරේදැයි ඇතැමුන් අසන්නේ එබැවිනි. බංග්ලාදේශයෙන් බිහි වූ අතිවිශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩකයකු වුවත් ශකීබ් අල් හසන් ක්‍රීඩා පිටියේදීත්, ඉන් පිටතදීත් තනිකරම රස්තියාදුකාරයෙකි. අමුම අමු මැරයෙකි. ඔහු වනිඳුගෙන් වෙනස් වන්නේ පච්චා කොටා හෝ හිසකෙස් පාට කර නොසිටීම නිසාය. බංග්ලාදේශය වැනි මුස්ලිම් රටක ආගමික තහනමක් බැවින් ශකීබ්ට ඊට අවසර නැති බව සඳහන් වේ.

වනිඳු පමණක් නොව අද වන විට ශ්‍රී ලංකා පිලේ වැඩි හරියක්ම සිටින්නේ එවැනි විලාසිතා අනුගමනය කරන ක්‍රීඩකයෝ ය. ඇතැමුන් සිතන්නේ හිසකේ පාට කිරීම හෝ පච්චා කෙටීම කෙනකුගේ ප්‍රතිරූපය ඉහළ දමා ගැනීමට හෝ සමාජයේ කැපී පෙනීමට ඉවහල් වන සාධක බවය. නොඑසේනම් ‘පොරවල්’ වීමට බලපාන සාධක බවය. අර්ජුන රණතුංගලා, අරවින්ද ද සිල්වාලා, මුත්තයියා මුරලිදරන්ලා පමණක් නොව මහේලලා සංගලා පවා ලෝක පූජිත ක්‍රීඩකයන් ලෙස තවමත් ගෞරවයට පාත්‍ර වී සිටින්නේ පච්චා කෙටීමෙන් හෝ හිසකේ පාට කිරීමෙන් හෝ නොව ක්‍රීඩා කළ කාලයේදී පෙන්නුම් කළ දස්කම් නිසාවෙනි.

මෙවැනි ‘පච්ච සිරාලා’ ගැන අප මීට පෙර අසා තිබුණේ ‘ගුණේ අයියාගේ කාමරයේ’ ය. පච්ච සිරාලා පමණක් නොව ගුෂ්පි රොබාලා ද ගුණේ අයියාගේ කාමරේ සිටි බව නිහාල් නෙල්සන්ගේ ගීතයෙන් කියැවේ. දැන් පච්ච සිරාලාත්, ගුෂ්පි රොබාලත් දෙපාර්ශ්වයම ශ්‍රී ලංකා කණ්ඩායමේ ද සිටිති.

ලොව පුරා විවිධ ක්‍රීඩා ක්ෂේත්‍ර අතර එවැනි පච්චා කෙටූ සහ හිසකේ පාට කළ ක්‍රීඩකයෝ අපමණ වෙති. ඉන්දියාවේ විරාට් කෝලිලා වැනි ජාත්‍යන්තර ක්‍රීඩකයන් පවා ශරීරය පුරා පච්චා කොටා ඇති බවත් සැබෑය. කෝලිලා පමණක් නොව එංගලන්තයේ හිටපු සුපිරි පිතිකරුවකු වූ කෙවින් පීටර්සන් පවා එහෙමය. එහෙත් ඒවා ශ්‍රී ලංකාවට අදාළ කාරණා නොවන්නේය. එක අතකට විරාට් කෝලි යනු පිටියේදී මුරණ්ඩු ලෙස හැසිරුණ ද, විනිසුරුවරුන් සමඟ ගැටුම් ඇතිකර ගත් ක්‍රීඩකයකු බවට වාර්තා වන්නේ නැත. ඔහුගේ ආවේගශීලි බව ඔහු පෙන්නුම් කරන්නේ ප්‍රතිවාදී ක්‍රීඩකයන් මෙල්ල කිරීමේ උපක්‍රමයක් හැටියටය. ඔහු නීතිගරුක ස්වයං විනයක් සහිත ක්‍රීඩකයකු ලෙසත් ප්‍රකටය. විස්සයි20 ලෝක කුසලාන අවසන් තරගයේදී ඉන්දියාවට කුසලානය දිනා ගැනීමට මං විවර වූයේ ඔහුගේ දස්කම් මතිනි. ඔහු සිය බාහිර ආටෝප තරමටම ශාරිරීක යෝග්‍යතාව පවත්වා ගැනීමට හා දස්කම් මුවහත් කර ගැනීමට කැපවීමෙන් යුතුව කටයුතු කළ ක්‍රීඩකයෙකි.

වසර 2017දී විරාට් කෝලිලා ශ්‍රී ලංකාවේ සංචාරය කරද්දී නවාතැන් ගත් කොළඹ තරු පහේ හෝටලයේ කායවර්ධන මධ්‍යස්ථානය අලුයම 5.00ට විවෘත කිරීමට සිදුවී තිබිණි. එය සාමාන්‍යයෙන් විවෘත වන්නේ උදෑසන 6.00ටය.

ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර කාලයක් සිය පුහුණුකරුවන්ට හිසරදයක් ගෙන දුන් ක්‍රීඩකයකු විය. එසේ වූයේ ඔහු එකම පහර පැය ගණනාවක් පුරා පුහුණු වන ආකාරයේ කැපවීමක් පෙන්නුම් කළ ක්‍රීඩකයකු වීම නිසාය. එම කාලය තුළ පුහුණුකරුට පැය ගණනාවක් ඔහුට පන්දු යැවීමට සිදුවී තිබිණි.

ක්‍රීඩාවට වැදගත් වන්නේ පච්චා හෝ හිසකේ පාට කිරීම් නොවන බවට ඒවා කදිම නිදසුන්ය. විනය හා ශාරීරික යෝග්‍යතාව ක්‍රීඩාවේ සාර්ථකත්වයට බලපාන ප්‍රධානතම සාධක බව ක්‍රීඩකයන්ට අමුතුවෙන් කිව යුතු ද නැත.

අනිත් අතට ශ්‍රී ලංකාවට විස්සයි20 ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ආපසු ඒමට සිදු වූයේ තම ශරීරයේ කොටා ඇති පච්ච ප්‍රමාණයට හෝ ලකුණු රැස් කිරීමට නොහැකි වූ පිතිකරුවන් නිසාය. කතාව ඒක ය. පාට කරගත් හිසකෙස් හා පච්චා කෙටූ ශරීරය සමඟ කඩුල්ල මැදට ගොස් බිංදුවට දැවී යන පිතිකරුවන්ගෙන් රටට ඇති වැඩක් ද නැත. සිය බාහිර ආටෝපය ගැන වද වන තරමටම සිය හැකියාව මුවහත් කර ගැනීමටත් වද වෙන්නේ නම් කොතරම් අගනේදැයි සිතේ.

විනය යනු ක්‍රීඩාව හා බැඳී පවතින්නකි. ක්‍රීඩාවේ සාර්ථකත්වයට දස්කම් පමණක් නොව හැදියාව ද එක ලෙස බලපාන්නකි. ක්‍රිකට් වනාහි මහත්වරුන්ගේ ක්‍රීඩාවක් බව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හිටපු විශිෂ්ටතම විචාරකයකු වූ ශ්‍රීමත් නෙවිල් කාඩස් වරක් කීවේය. එය මහත්වරුගේ ක්‍රීඩාවක් වූයේ එවකට කවුරුත් මහත්මා ගුණයෙන් යුතුව ක්‍රීඩාවේ නිරතව සිටි නිසාය. ප්‍රතිවාදී ක්‍රීඩකයන් කේන්ති ගැස්වීමට අසභ්‍ය වචන පැවැසීමක් නැත. රැවටීමක් හෝ දඟ කැවීමට අවශ්‍ය පරිදි පන්දුව පතුරු ගැසීමක් හෝ විනිසුරු සමඟ වාද කිරීමක් හෝ නැත. විනිසුරුවරුන්ගේ තීරණවලට එරෙහිව වචනයකින්වත්, හැසිරීමකින්වත්, අංග චලනයකින්වත් විරෝධතාවක් පෙන්වන්නේ නැත. එවකට තමා දැවී ගිය බව දන්නේ නම් පිතිකරු පිටියෙන් ඉවත් වන්නේ විනිසුරු තීරණය දීමටත් පෙරය. ශ්‍රී ලංකා පිලේ හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා එවැනි පිතිකරුවෙකි. ඔහු කිසිදිනෙක විනිසුරු තීරණය දෙන තුරු තණතීරුවට වී කල් මැරුවේ නැත.

එහෙත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් ය. එක අතකට ඒවාට අයිසීසීය ද වග කිව යුතුය. අයිසීසී ය විනිසුරු තීරණවලට අභියෝග කිරීමේ ඩීආර්එස් ක්‍රමවේදය පිටියට හඳුන්වා දුන්නේය. තීරණ පමණක් නොව විනිසුරුවෝ ද ඉන් හෑල්ලු වී ගියහ.

ක්‍රීඩකයන් අතර ඔවුන්ගේ අගය, කීර්තිය හා ගෞරවය නැත්තටම නැති වී ගියේය. ඕවරයක් ඇතුළත යම්කිසි තීරණයක් ප්‍රතික්ෂේප වීමෙන් උරණ වන පන්දු යවන්නෝ එම ඕවරයෙන් පසු සිය කෝපය ප්‍රකාශ කරන්නේ ප්‍රධාන විනිසුරුගෙන් තම හිස් වැස්ම උදුරා ගැනීමෙනි. ඉන් නොනැවතී අසික්ෂිත වදනින් පවා බැණ වදිති. වනිඳු අයිසීසීයේ තහනමට ලක්වූයේ ද එවැනි වරදකටය.

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විනය පිළිබඳ කතා කරද්දී අර්ජුන රණතුංග ගැන කතා නොකරම බැරිය. ක්‍රිකට් අතීතය දන්නා වැඩිදෙනකු අදටත් සිහිපත් කරන්නේ ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අවදියේ ක්‍රීඩකයන්ගේ විනය කොතරම් ඉහළ මට්ටමක තිබුණේදැයි යන්න ගැනය. එවකට ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් පච්ච කෙටුවේ ද නැත. හිසකේ පාට කර තිබුණේ ද නැත. ක්‍රීඩාවට පමණක් නොව ඔවුන් විනයානුකූල හැසිරීමටත් දුන්නේ මුල් තැනකි. විශේෂයෙන් ඒවා කැපී පෙනුණේ විදෙස් සංචාරවලදීය. රට නියෝජනය කරමින් විදේශ ගත වීමේදී රටේ ගරුත්වය හා කීර්තිය රැක ගැනීමේ වගකීම අකුරටම ඉටු කළ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා ඉතිහාසයේ එමට සිටියහ. එය වැඩිපුරම කැපී පෙනුණේ ද අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේය. ඊට පෙර දුලිප් මෙන්ඩිස් නායකයා ලෙස කටයුතු කළ කාලයේදී ද ක්‍රීඩකයන්ගේ විනය තිබුණේ ඉහළම තැනක ය. එවැනි නායකයෝ තම ක්‍රීඩකයන්ගේ විනය පවත්වා ගෙන යෑමට දැඩි තීන්දු තීරණ පවා ගත්හ.

වරක් අර්ජුනගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පිල එංගලන්ත සංචාරයක නිරතව සිටියදී එක්තරා ක්‍රීඩකයකු අධික වටිනාකමකින් යුතු ජංගම දුරකතනයක් සොරකම් කිරීමේ සිදුවීමක් වාර්තා විය. එය සිදුවූයේ කණ්ඩායම ලද ඇරියුමකට අනුව එක්තරා නිවෙසක භෝජන සංග්‍රහයකට සහභාගි වූ අවස්ථාවකදීය. එම නිවෙසේ තිබූ ජංගම දුරකතනයක් සොරකම් කිරීමේ වරදට අදාළ ක්‍රීඩකයා ලැබූ දඬුවම වූයේ එම සිදුවීමෙන් පසු කිසිදිනෙක යළි කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව නොලැබීමය. එහෙත් දැන් තත්ත්වය ඊට වෙනස්ය. එවැනි සොරකමක් නොව ඊට වඩා බරපතළ සිදුවීමකින් පසුව වුවත් වත්මන් ක්‍රීඩකයන්ට ඊළඟ තරගයට හෝ ඊළඟ සංචාරයට හෝ එක්වීමේ අවස්ථාව ලැබෙන්නේ නිතැතින්මය.

හොඳම නිදසුන ධනුෂ්ක ගුණතිලක ය. ඔස්ට්‍රේලියාවේදී ඔහු කළ කී දේවල් ගැන ශ්‍රී ලංකාවට වැඩිය විදෙස් රටවල තොරතුරු පළ විය. පොලිස් කූඩුවේ පමණක් නොව බන්ධනාගාරගත වී සිටීමට ද සිදුවූයේ විනය පිරිහීම නිසාය. සිය පෞද්ගලික ආශ්වාදය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අභිමානය පාවා දුන් මේ ක්‍රීඩකයා අද එල්පීඑල් පිටියේ ක්‍රීඩා කරමින් සිටී. හෙට අනිද්දාට යළි ජාතික කණ්ඩායමට ද එක්වනු ඇත. කළ වරදට ඔහුට විනය පරීක්ෂණ නැත. එම සංචාරය අතරතුර කැසිනෝ ගොස් ගුටිබැට හුවමාරුවකට පැටලුණු ක්‍රීඩකයන්ට විනය පරීක්ෂණ නැත. ඊට පෙර පැවැති එංගලන්ත සංචාරයක් අතරතුර ජීව බුබුළු වළල්ලෙන් මිදී රාත්‍රී කාලයේ වීදි පුරා රස්තියාදු ගැසූ ශ්‍රී ලංකා පිලේ ප්‍රකට තුන් කට්ටුව ගැන එවකට සමාජ මාධ්‍යජාලයේ වීඩියෝ පට සංසරණය විය. ධනුෂ්ක ගුණතිලක ද ඒ අතර සිටියේය. මේවාට නායකයා පමණක් නොව කණ්ඩායමේ කළමනාකරුවාද වග කිව යුතුය.

අතීතයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටියේ නොම්මර එකේ මැනේජර්ස්ලා ය. ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය ලැබෙන විට කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ අබූ ෆුවාඩ් ගැන හිටපු ක්‍රීඩකයන්ට තවමත් ඇත්තේ අපරිමිත ගෞරවයකි. ඔහුට ක්‍රීඩකයන් ආමන්ත්‍රණය කරනු ලැබුවේ ‘සර්’ කියාය. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැඩි තීන්දු තීරණ ගත් සැර පරුෂ පුද්ගලයෙකි. නියමිත වේලාවට පුහුණුවීම්වලට නොපැමිණෙන ක්‍රීඩකයන්ට ඔහුගෙන් කිසිදු සමාවක් නැත. දුලිප් මෙන්ඩිස්ලා, රංජිත් ප්‍රනාන්දුලා ද එවැනිම වර්ගයේ කළමනාකරුවෝ වූහ. එහෙත් අද එවැනි කළමනාකරුවන් නැත.

එදා ඔස්ට්‍රේලියාවේදී ලිංගික අතවර චෝදනාවට හසු වූ ධනුෂ්ක ගුණතිලක රාත්‍රී කාලයේදී කාන්තාව සොයා ගියේ කණ්ඩායමේ කළමනාකරුට අයිසීසීයෙන් ලබා දී තිබූ මෝටර් රථයෙන් බව එවකට වාර්තා විය. අද කණ්ඩායමේ සිටින විනය අතින් පිරිහුණු ඇතැම් ක්‍රීඩකයන් එදා සිටියේ නම් ඔවුන්ට දෙවියන්ගෙම පිහිට ය. අබූ ෆුවාඩ්ලා, දුලිප් මෙන්ඩිස්ලා ඔවුන්ට ක්‍රීඩකයන්ගේ විවේකාගාරයටවත් ඇතුළු වීමට ඉඩ නොදෙනු සහතිකය. ( සිළුමිණ පුවත්පතේ පළවුන ලිපියකි)

Tags: නවතම
Share69Tweet43
Previous Post

අබ සරණයි… ක්‍රිකට් පරිපාලනය වෙනස් කළ යුතු බවට සබ්රිගේ ජනාධිපති කැබිනට් අනු කමිටු වාර්තාවත් විසිවෙන ලකුණු…  

Next Post

අම්බානිලාගේ මගුල් සැනකෙළියට නාමල් සහ මහෙල ගිහින්!

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.