තමන් අග විනිසුරුවරයා වෙත ලිපියක් යවමින් රටේ ආරක්ෂාව සම්බන්ධ සාකච්ඡාවක් සඳහා වෙලාවක් ලබා දෙන ලෙස දන්වා ලිපියක් එව්වේ වැරදීමකින් බවත් ඊට සමාවන ලෙසත් ඉල්ලමින් මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් අගවිනිසුරු ජයන්ත ජයසූරිය වෙත ලිපියක් යවා තිබේ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
පසුගිය දා මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අල්විස් අගවිනිසුරුවරයාට ලියුමක් යැව්වේය. ඉන් දන්වා තිබුණේ රට පුරා පවතින විරෝධතා හමුවේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේදී පොලිසිය මුහුණ දෙන අභියෝග සහ බාධාවන් පිළිබඳව සාකච්ඡා කිරීමට පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අවශ්‍ය වී ඇති බවය. ලේකම් වරයා ඒ සඳහා අගවිනිසුරුගෙන් වෙලාවක් ඉල්ලා සිටියේය.
රාජකාරි පටිපාටිය අනුව රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් එවැනි ඉල්ලීමක් ලේකම්වරයා විසින් සිදුකළ යුත්තේ නීතිපතිවරයාගෙනි. එම පටිපාටිය ඉක්මවා යමින් රටේ නීතියේ ස්වාධීනත්වය හා අධිපත්‍යය ද ප්‍රශ්න කෙරෙන සේ අගවිනිසුරුවරයාවෙත ඍජුවම ලිපි ලිවීමට ලේකම්වරයා කටයුතු කර තිබිණි.
මෙවැනි සම්පුර්ණයෙන්ම අනවශ්‍ය ලිපියක් එවීම සම්බන්ධයෙන් එම නිලධාරියාට දැඩි ලෙස අවවාද කරන ලෙස උපදෙස් සහිතව අගවිනිසුරුවරයා නීතිපතිවරයාට ලිඛිතව දන්වා තිබේ.
ඒ අනුව නීතිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට තම අධිකාරිය ඉක්මවා නොයන ලෙසට පළමු සහ අවසන් අවවාදය ලබාදී ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
නීතිපතිවරයාගේ අනතුරු ඇඟවීමෙන් පසු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අල්විස් නැවතත් අගවිනිසුරු වෙත ලිපියක් යවමින් කියා ඇත්තේ එම ලිපිය නීතිපතිවරයාට යැවීමට අවශ්‍ය වූවක් බවය. එහෙත් වැරදීමකින් අගවිනිසුරුවරයා වෙත ලබා දී ඇති බවත්ය.
සිදුවූ අතපසුවීම සම්බන්ධව ඔහු සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් අගවිනිසුරුවරයාගෙන් ලිඛිතව සමාව අයැද සිටියේය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ප්‍රකාශකයෙක් මේ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුනේ රාජ්‍ය පරිපාලන සේවයේ තනතුරුවලට පත්වන අයෙක් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ පිළිබඳව එම තනතුරු සඳහා පිටතින් පත් කර එවන්නන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවය මෙවැනි සිදුවීම්වලින් අවධාරණය කරන බවයි.
ප්‍රධාන පරිපාලන තනතුරු සඳහා නිලධාරීන් පත්කිරීමේදී ශ්‍රීලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ට ප්‍රමුඛත්වය දෙන ලෙස ඉල්ලා එම නිලධාරීන් පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් ද යවා තිබිණි.