මනම්පිටිය නිමල් ජයරත්න –
-
රක්ෂිතයේ සැරි සැරූ මුව රංචුව බුරුතු පිටින් මරන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ, පුරවිද්‍යාවෙ පොලිසියෙ රැකවලුන් සිටිද්දී…
-
මාසෙක් මුවන් 10 -15ක් මරා මස් කරනවා… මුව මස් විකුනන හෝටල් හැමෝම දන්නවා.. ප්‍රදේශවාසීහු කියති…
සිංහලයේ වන්දනීය පූජා භූමියක් වූ ඓතිහාසික පොළොන්නරුව ගල්විහාර භූමියට හා ඒ ආශ්‍රිත රක්ෂිතයට අලංකාරයක් එක් කරමින් මෙතෙක් නිදහසේ සැරි සැරූ ප්‍රකට මුව රංචුව එළිපිට ඝාතනය කර මස් කරන මස්වැද්දන් පිරිසක් සම්බන්ධව පොලොන්නරුවෙන් වාර්තා වේ.
මදුගැසීමෙන් පමණක් නොව වෙඩි තැබීමෙන් පූජාභූමියේ සැරිසරන මුවන් පූජා භූමිය තුළම මරා මස් කීරීමේ ජාවාරමක් සිදුවෙමින් ඇත්තේ පොළොන්නරුව පූජා භූමියේ ආරක්ෂාවට මධ්‍යම සංස්කෘතික අරමුදල ආරක්ෂක නිලධාරීන්, පුරාවිද්‍යා නිලධාරීන්, සිවිල් ආරක්ෂක නිලධාරීන් මෙන්ම පොලිසිය යොදවා සිටියදී වීම විශාල ප්‍රහේලිකාවක් බව මේ පිළිබඳව අදහස් දක්වන ප්‍රදේශවාසීහු කියති.
මේ මුව දඩයම මසක දෙකක තුළ ඉතාම සීඝ්‍රයෙන් සිදුවන බව වාර්තා වේ. මේ වනවිට මසකට මුවන් දහයක් පහළොවක් පමණ ප්‍රමාණයක් මරා මස් කරන බවට තොරතුරු හෙළි වී තිබේ. නුදුරේ දීම මේ මුව රංචුවේ එක් මුවෙක්වත් ඉතිරි නොවන බවත්, අවට හෝටල්වලින් මුව මස් සඳහා විශාල ඉල්ලුමක් නිර්මාණය වී ඇති බවත් ප්‍රදේශවාසීහු කියති.
අද ( 29) අලුයමත් පොළොන්නරුව පූජා භූමිය ආසන්නයේ ඓතිහාසික කිරිවෙහෙර පමුල වෙඩි තබා ඝාතනය කළ මුවෙකු වනජිවී වනජීවී නිලධාරින් විසින් සොයාගෙන ඇත. වෙඩි වැදුණු මුවා වෙඩි පහර කාගෙන කිරිවෙහෙර ප්‍රදේශයට පැමිණ මැරී වැටී ඇත.
පොලොන්නරුව වනජීවී කලාපයේ වැටලීම් අංශයේ අඩවි සහකාර ඩබ්ලිව්.එම්. කුමාරසිරි විජේකෝන් ගෙන් අප මේ පිළිබඳව දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ ගල්විහාර පූජා භූමියේ විශාල වශයෙන් මුව දඩයම සිදුවන බවය. අද අලුයම වෙඩිවැදී මියගොස් සිටි මුවාගේ මරණ පරීක්ෂණ කටයුතු කිරීමට ගිරිතලේ වනජීවී කාර්යාලය භාරදුන් බවත්,, ඒ අනුව පරීක්ෂණ සිදුකරන බවත් ඔහු කීවේය..