හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ට එරෙහිව දොම්පේ මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමට සහ සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීමට රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා පවරා ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ගම්පහ මහාධිකරණයේදී අද (03) දුන්නේය.
බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේසන් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය පියවර ගත්තේය.
එහෙම වුනේ කොහොම ද?.
අක්කර 16 ක ඉඩමක් මිලදී ගැනීමට සහ සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීමට රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මෙම නඩුවේ පළමු විත්තිකරු වන බැසිල් රාජපක්ෂට නීතිපතිවරයා විසින් අධිචෝදනා තුනක් ඉදිරිපත් කර තිබුණි.
දීර්ඝ කාලයක් ඇසෙමින් තිබූ මෙම නඩුව විසිවී යන්නේ එය පවරා තිබූ ආකාරයේ තාක්ෂණික දෝෂයකින් බව නීති විශාරදයෝ පැවසූහ.
ඕනෑම අපරාධ නඩුවක මුල් පැමිණිලි කාරයෙක් සිටී. මෙම මුල් පැමිණිලිකාරයා අපරාධයක් සිදුවීම සම්බන්ධව මුලින්ම පැමිණිල්ල ගොනු කරනු ලබන පුද්ගලයාය.
මල්වාන නඩුවේ මුල් පැමිණිලිකරු ලෙස පොලිසිය විසින් හඳුන්වා දී තිබුණේ මෙම නිවසේ කොන්ත්‍රාත් කරුය. කොන්ත්‍රාත්කරු පොලිසියට කැඳවා ඔහුගෙන් කටඋත්තරයක් සටහන් කරගෙන එම කට උත්තරය පදනම් කරගෙන පැමිණිල්ල ගොනු කර තිබිණි.
පසුගිය නඩුවාරයේ දී සාක්ෂි සඳහා මුල්පැමිණිලි කරු ලෙස සාක්ෂියට කැඳවූ කොන්ත්‍රාත්කරු සාක්ෂි ලබා දෙමින් පැවසුවේ තමන් තිරු නඩේසන්ට හෝ බැසිල් රාජපක්ෂට එරෙහිව කිසිම අවස්ථාවක පොලිසියේ පැමිණිල්ලක් නොකළ බවය. එහෙත් පොලිසිය තමන්ව කැඳවා ප්‍රකාශයක් සටහන් කරගත් බව ඔහු උසාවියට පැවසුවේය.
දැන් මුල් පැමිණිලිකරුවෙක් නැත. මේ අවස්ථාවේ දී පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළේ මේ තත්ත්වය තුළ තවදුරටත් සාක්ෂි මෙහෙයවීම සිදු කිරීමට තමන් සූදානම් නැති බවත් ගොනු වී ඇති සාක්ෂි විභාගයෙන් නඩු තින්දුව ලබා දෙන ලෙසත්ය.
ඒ අනුව නඩුව තවදුරටත් පවත්වාගෙන යනවා ද නැද්ද යන්න පිළිබඳව තීන්දුව ලබා දීම පසුගිය මැයි 13 වැනිදාට නියම කෙරිනි. මේ අවස්ථාවේ දී රටේ උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් තමා නඩු විභාගයට නොපැමිණෙන බව බැසිල් රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
තිරු නඩේසන් ද තමන්ගේ අසනීප තත්ත්වය හේතුවෙන් අධිකරණයට ඉදිරිපත් නොවන බව ඔහුගේ නීතීඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ලබා දීම අද දිනය දක්වා කල් තැබිණි.
මුල් පැමිණිලිකරුවාගේ ගැටලුවක් මතුවීම මත රජයේ නීතිඥවරයා සාක්ෂි විභාගය නවත්වා දැමීම අධිකරණයට දැන්වීමෙන් අනතුරුව නඩුව තව දුරටත් පවත්වාගෙන යා නොහැකි බව අධිකරණය අද තීන්දු කර විත්ති කරුවන් නිදොස්කොට නිදහස් කළේය.