පසුගිය අරගල සමයේ ජනාධිපති මන්දිරය අත්පත් කර ගත් අරගලකරුවන්ට එහි තිබී හමුවූ රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂය ට හිමිකම තමාට ඇති බව තනතුර අතහැර පළා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නීතීඥයකු මාර්ගයෙන් අධිකරණයට දන්වා තිබේ. ඔහුගේ නෛතික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුර දැරූ නීතීඥ හරිගුප්තා රෝහණධීර විසින් ඊයේ (09) හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඉල්ලීමක් කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉල්ලිමක් ඉදිරිපත් කර තිබූ අතර මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා එම මුදල් හිටපු ජනාධිපතිවරයාට භාර දීම ප්‍රතික්ෂේප කළේය.
එහිදී මහෙස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ මේ වනවිට ජනාධිපති මන්දිරයෙන් හමුවූ මුදල් පිළිබඳ ව පැවැත්වෙන විමර්ශණ අවසන් ව නැති බැවින් එම කටයුතු අවසන් වන තෙක් එම මුදල නිදහහස් කිරීම සිදු කළ නොහැකි බවය.
පසුගිය ජූලි මස 09 වැනිදා කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කර ගත් අරගලකරුවන්ට මෙම මුදල හමුවූ අතර එය ගණන් කිරීමෙන් අනතුරුව කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලබා දීමට කටයුතු කෙරිණි.
මෙම මුදල් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර මෙම මුදල තමා සතු බවත් ඔහු පළා යන විට තමන් සමඟ සිටි ආරක්ෂකයන්ගේ උපදෙස් මත මෙම මුදල් එහි දමා ගිය බව් ප්‍රකාශ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධීකරණය හමුවේ කියා සිටියේය.
මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා තවදුරටත් සඳහන් කර ඇත්තේ මෙම මුදල් සම්බන්ධයෙන් මූල්‍ය විශුද්ධිකරණය පනත සහ අල්ලස් හෝ දූෂණ මර්දන පනත යටතේද විමර්ශණ තවදුරටත් සිදුවන බැවින් එම මුදල් ආපසු ලබා දීමට නොහැකි බවයි.