මනම්පිටිය නිමල් ජයරත්න –
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟේ වැලි ගොඩ දමන මංකඩලාභීන්, ටිපර් රථ රියදුරන් දෙසීයකට අධික පිරිසක් ටිපර් රථවලින් මාර්ගය හරස් කර මනම්පිටිය වැලි සමාගමේ කළමනාකාරීත්වය ඇතුළු නිලධාරීන් කාර්යාල අඩස්සියට ගෙන අද (14 ) උදෑසන සිට පැය හයකට අධික විරෝධතාවයක නිරත වූහ.
තාක්ෂණික සේවා පෞද්ගලික ආයතනයක් මගින් නිකුත්කර ඇති චක්‍රලේඛනයකට අනුව ආයතනයට අදාළ කන්තලේ, මඩකලපුව වැලිකන්ද, ඇතුළු විවිධ ප්‍රදේශවලින් ටිපර් රථවල තට්ටුවට ඉහළින් වැලි රැගෙන ගියද මනම්පිටිය වැලි සමාගමෙන් පමණක් තමන්ට එලෙස වැලි ප්‍රවාහනයට ඉඩ ලබා නොදීමට එරෙහිවත්, එම වැලි සමාගම රුපියල් කෝටි ගණනින් රජයට මුදල් අහිමිකර සිදු කරන වංචා, දූෂණ, අක්‍රමිකතා, නතර කරන ලෙසත්, ප්‍රධාන ස්ථාන භාර නිලධාරිවරයා මාරු කරන ලෙසත් ඉල්ලමින් විරෝධතාකරුවෝ මෙම විරෝධයෙහි නිරත වූහ.
මනම්පිටිය පෞද්ගලික වැලි සමාගමේ ස්ථාන භාර නිලධාරිවරයා තම හිතවතුන්ගේ යන්ත්‍ර සූත්‍රවලින් පමණක් වැලි පැටවීමට ක්‍රියාකරන බවත්, ඉන් ප්‍රදේශයේ විශාල පිරිසකට බරපතළ අසාධාරණයක් සිදුවන බවත්, වත්මත් ස්ථාන භාරවරයාගේ ක්‍රියාකලාපය අනුව මනම්පිටිය මහවැලි ගඟේ වම් හා දකුණු ඉවර පරිසර විනාශයකට ලක්ව, සතා සිවුපාවන්ට පවා හානි වන අයුරින් වැලිගොඩ දැමීම සිදුකරන බවත්, ලංකාවේ හොඳම වැලි ලෙස පිළිගන්නා මනම්පිටිය වැලි ප්‍රවාහනය කිරීමේදී පිටස්තරින් තට්ටු මට්ටමට ඉහළට වඩා වැලි රැගෙන එන ලොරි රථවලට පවතින පවතින ඉල්ලුම තමන්ට මෙම වැලි සමාගම මගින් අහිමිකර ඇති බවත් විරෝධතාකරුවෝ ප්‍රකාශ කළහ.
විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ වෙනත් ප්‍රදේශවලින් ටිපර් රථ වැලි ප්‍රවාහනය කරන පරිදි තමන්ටද මනම්පිටිය වැලි සමාගම මගින් තට්ටු මට්ටමට ඉහළින් වැලි ප්‍රවාහනය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසය.
පෙබරවාරි 21 වෙනිදා තාක්ෂණ සේවා මධ්‍යස්ථානය මගින් වැලි ප්‍රවාහනය කිරීම සඳහා ලබා දුන් කොන්දේසි එදින සිට ක්‍රියාත්මක නොකර එය මාර්තු 14 වෙනිදා සිට ක්‍රියාත්මක කිරීම පිටුපස සමාගමේ විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇති බවද විරුද්ධාකරුවෝ සඳහන් කළහ.
වැලි ටිපර් රියදුරන් මෙන්ම මංකඩලාභීන් නගන චෝදනාව පිළිබඳ මනම්පිටිය තාක්ෂණ සේවා වැලි සමාගමේ ස්ථාන භාර නිලධාරී මොහොමඩ් හසන්ගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඉහළ කළමනාකාරීත්වය ලබාදෙන තීරණ තමන් ක්‍රියාත්මක කරන බවත්, විරෝධාකරුවන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්ය.
අප මේ පිළිබඳව තාක්ෂණ සේවා මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධීකාරක සුජිත් කෝනාර ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඔහු සඳහන් කළේ ආයතන මගින් නිකුත් කර ඇති කොන්දේසි ශ්‍රී ලංකාවේ සෑම ප්රදේශයකටම වලංගු වන පරිදි නිකුත් කර ඇති බවය.
මේ වන විටත් වැලි ටිපර් දෙසියකට ආසන්න සංඛ්‍යාවක් වැලි ප්‍රවාහනය නොකර විරෝධතාවයේ නිරත වන අතර තම ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන තුරු මෙම අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද විරෝධතාකරුවෝ සඳහන් කළහ.