ශ්‍රියානි විජේසිංහ –
ඖෂධ වර්ග 10 ක් පමණ මේ වන විට මත්ලෝලීන් අතර අවභාවිතා වෙමින් පවතින බැවින් වැටලීම් කඩිනම් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමග ඒකාබද්ධව වැටීලිම් සිදුකිරිමට තීරණය කර ඇත.
මෙම වැටලීම් සිදුකිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 50 දෙනෙකුට පුහුණු සැසියක් අද (10) ජාතික ඖෂධ නියාමන අධිකාරියේදී පවත්වන ලදි.
මෙසේ අවභාවිතාවන බටහිර ඖෂධ අතර පිලිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ, ශල්‍යකර්මවලින් පසුව ලබාදෙන ප්‍රබල වේදනානාශක ඖෂධ, සුශුම්නාවට සිදුවන අනතුරුවලදී ලබාදෙන ඖෂධ, මානසික රෝගීන් ලබා දෙන ඖෂධ ඇතුළු ඖෂධ වර්ග 10ක් පමණ පවතින බව සොයා ගෙන ඇතැයි ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරික්ෂක අමිත පෙරේරා සඳහන් කරයි.
මෙම ඖෂධ වීදි කඩවල, ඇතැම් නිවෙස්වල ඉතා සූක්ෂම ලෙස හොර රහසේ මත්ලෝලින් සඳහා අලෙවි කරන බවත් ඒ සම්බන්ධයෙන් අධිකාරිය වෙත ලැබෙන පැමිණිලි මත වැටලීම් සිදු කරන බවත් හෙතෙම පැවසුවේය.
පසුගිය කාලයේදී කරන ලද වැටලීම් වලදී අවුරුදු 20 – 50 අතර වයස් කාණ්ඩවල මත්ලෝලීන් මෙම ප්‍රබල වේදනානාශක ලබා ගන්නා බවට තොරතුරු හෙලිව ඇති බව ද අමිත පෙරේරා පැවසුවේය.