දිනසේන රතුගමගේ –
මන්නාරම ඓතිහාසික මරුදමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්ලය මේ මස 15 වෙනිදා පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇතැයි මන්නාරම රදගුරු අති උතුම් එමානුවල් ප්‍රනාන්දු හිමිපාණෝ ප්‍රකාශ කළහ.
මන්නාරම මඩු දේවස්ථානයේ 14 වෙනිදා රාත්‍රියේ පැවැත්වෙන විශේෂ පූජාවෙන් හා 15 වෙනිදා උදෑසන පැවැත්වෙන ආශිර්වාද පූජාවෙන් පසුව මඩු වාර්ෂික මංගල්ලය අවසන් වන අතර ඒ සමගම මඩු වන්දනා සමයද අවසන් වෙයි.
මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්ලය සිදු කරණු ලබන විශේෂ කමිටුව මන්නාරමේ මඩු දේවස්ථානයේදී රැස් වූ අවස්ථාවේදී සංවිධායක කමිටුව ප්‍රකාශ කොට සිටියේ මෙවර මඩු මංගල්ලය සඳහා බැතිමතුන් ලක්ෂ පහක් පමණ සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරණ බවයි.
මේ බැතිමතුන්ට අවශ්‍ය පානීය ජලය සනීපාරක්ෂක පහසුකම් වෛද්‍ය පහසුකම් හා ආහාර පාන පහසුකම් සපයා දීමට මෙහිදී එක් එක් කමිටු පත් කළ අතර ඊට යුද හමුදා පොලිස් නාවික හමුදා නිලධාරීන්ද ඇතුළත් වූහ.
මේ දිනවල මඩු හා මන්නාරම් ප්‍රදේශයට අධික වැසි පතිත වන නිසා මඩු දේවස්ථාන භූමියේ කදවුරු බැදීමට සූදානමින් පැමිණෙන පිරිස් ආලෝකය සපයා ගැනීම සූදානම්ව පැමිණෙන ලෙසත්, අධික සීතලට හා වැස්සට ඔරොත්තු දෙන ආකාරයේ ඇදුම් පැලදුම් සකස් කරගෙන පැමිණෙන ලෙසත් මඩු වාර්ෂික මංගල්ල කමිටුව ඉල්ලා සිටියි.
වර්ෂාවත් සමගම සර්පයින් ගැවසීමේ අවදානමක් හට ගන්නා නිසා ඒ ගැන සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටින කමිටුව මඩු දේවස්ථානය පිහිටා ඇත්තේ වන ගත ප්‍රදේශයක බැවින් අබලන් වාහන වලින් වන්දනා නඩ රැගෙන ඒමෙන් වළකින ලෙසද ඉල්ලා සිටියි.
මෙම සාකච්ඡාවට මන්නාරම දිසාපති කේ.කනකේස්වරන් ඇතුලුව රාජ්‍ය නිලධාරීන් රැසක්ද ආරක්ෂක අංශ ප්‍රධානීන්ද මඩු දේවස්ථානයේ හා මන්නාරම මීසමේ තවත් පියතුමන්ලා කීප දෙනෙකුද සහභාගී වී සිටියහ.







