කෙරවළපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමෙරිකානු සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් වූ ගිවිසුම පිළිබඳව පසුගියදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊට විරෝධය දැක්වූ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර අමාත්‍යවරුන් ඇතුළු පිරිසට පැහැදිළි කර දුන් බවත් එයින් පසුව ඔවුන් ඒ ගැන වැඩිදුර ප්‍රශ්න කිරීමට විමසන්නට කටයුතු නොකළ බවත් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා අද පැවසීය.
පසුගියදා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති පක්ෂ නායක රැස්වීමේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් යුගදනවි බලාගාර ගනුදෙනුව පිළිබඳව මෙන්ම එවැනි ගිවිසුමක් අත්සන් කිරීමට බලපෑ කරුණු එකින් එක හේතු සාධක සහිතව පෙන්වා දුන් පසුව ඔවුන් තුළ මේ පිළිබඳව පැවැති වැරදි වැටහීම් නිවැරදි කර ගන්නට ඇති බවත් ඔවුන් එය රටට හිතකර ගිවිසුමක් බවට අවබෝධ කර ගන්නට ඇති බවත් කාරියවසම් මහතා එහිදී තවදුරටත් සඳහන් කර සිටියේය.
පසුගියදා නෙළුම් මාවත කාර්යාලයයේදී පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ සාගර කාරියවසම් මන්ත්‍රිවරයා එදා පැවති පක්ෂ නායක හමුවේදී මුදල් අමාත්‍යවරයා මෙම ගිවිසුම අනුව ක්‍රියාත්මක වන්නේ රටේ අනාගතය වෙනුවෙන් බවත් අවුරුදු 10ක් තිස්සේ අපට කර ගත නොහැකි වූ දෙයක් බැරිවුණු දෙයක් ඉටු වන බවත් පෙන්වා දුන් බව පැවසීය.
“බැසිල් ඇමතිතුමා මේ විරුද්ධ මත පළ කළ අය පැහැදිලි කර දුන්නා, මෙය හරිහැටි කළොත් මේ රටේ ජනතාවට ප්‍රතිලාභය එන්නේ. විදුලි බිලි ගල් අඟුරු බලාගාරය හදපු වෙලාවේ සියයට 20කින් අඩු වුණා වගේ ත ජනතාවගේ විදුලිබිල මෙය හරිහැටි කළොත් සියයට 30කින් අඩු කිරීමටත් හැකියාවක් ලැබෙන්න පුළුවන් බව. ඔවුන් තුළ පැවැති දුර්මත බොහෝ දුරට දුරු කර ගන්න ඇති. ඒකට විරුද්ධව හිටිය නම් කවුරුදච හරි ඒ අය තේරුම් ගන්න අති මේක හොඳම ආයෝජනයක් කියල. එදාත් අප සුහදව සාකච්ඡා කළා. ඉදිරියේදීත් යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් අපට පක්ෂ නායකයන් අතර සුහදව සාකච්ඡා කරල විසඳා ගන්න පුළුවන්. “ යයිද සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.