රජය සතු මාධ්‍ය නාලිකා විකිණීමට රජය උත්සාහ කරන බවට චෝදනා එල්ල වුවද එවැනි කිසිම සූදානමක් නොමැති බව ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට පවසයි.
ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් වරයා මෙසේ පවසන්නේ කළු සල්ලි සුදු කරන බවට ලොව පුරා ගර්හාවට ලක් වී ඇති ලයිකා සමාගමට චැනල් අයි රූපවාහිනිය විකිණීමෙන් අනතුරුව ඊට ආවරණ අනුමැතිය ලබා ගැනීමට ජනමාධ්‍ය ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් පසු එය අගමැතිවරයාගේත් බරපතල දෝෂ දර්ශනයට ලක් වී ප්‍රතික්ෂේප වී තිබිය දීය.
එමෙන්ම අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන්නේ චැනල් අයි පෙන්වමින් මාස තුනක් සඳහා මුලු දිවයිනම ආවරණය වන නේත්‍රා නාලිකාවේ සංඛ්‍යාත ලයිකා සමාගමට ලබා දීමෙන් පසු ඊට අත්තිකාරම් මුදලක් රැගෙන එම මුදල ද මේ වනවිට වියදම් කර ඇති බවය.
රූපවාහිනී සභාපතිවරයා සහ ජනමාධ්‍ය ඇමතිවරයා විසින් මේ ආකාරයෙන් කුප්‍රකට ලයිකා සමාගමට අදාල පැවරීම සිදුකර ඇත්තේ තවත් දේශීය නියෝජිතයන් දෙදෙනෙක් ඉදිරිපත් වීමෙන් පසුව බවත්, එම පැවරීම අදාල ඉල්ලුම්කරුවන්ට දැනුම් දී නොමැති බවත් වාර්තා වී ඇත.
කැබිනට් මණ්ඩලයේ දී අගමැතිවරයාගේ දෝෂ දර්ශනයට ලක් වී තිබුනේ විනිවිද නොපෙනන මේ සංවෘත ගනුදෙනුවේ ස්වරූපය ය. මේ විකිණිම සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද ප්‍රශ්න කර තිබුණේය.
මෙම චෝදනාව සම්බන්ධයෙන් ඩේලි මෝනිං කළ විමසීමකදී ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කියා ඇත්තේ එවැනි සූදානමක් නොමැති බවය.
“රජයට අයත් මාධ්‍ය නාලිකාවක් විකිණීමට හෝ බදු දීමට යම් සූදානමක් තිබේ නම් ඒ පිළිබඳ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලැබිය යුතුයි. නමුත් අමාත්‍යාංශය එහෙම කරලා නැහැ. කිසිදු නාලිකාවක් විකිණීමට හෝ බදු දීමට සූදානමක් නැහැ.” ලේකම්වරයා පවසා ඇත.
කෙසේ වෙතත් පවතින ආර්ථික අර්බුදය තුළ රජය සතු මාධ්‍ය නාලිකා ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් දීර්ඝ කාලයක් තිස්සේ පාඩු ලබමින් සිටින බැවින් ඒවා පවත්වාගෙන යෑම දුෂ්කර බව රජය අවස්ථා ගණනාවකදී පෙන්වා දී තිබේ.
රාජ්‍ය ආයතන කිහිපයක් ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් කර ඇති පසුබිමක රාජ්‍ය මාධ්‍ය නාලිකාවල අයිතිය උනන්දුවක් දක්වන පාර්ශ්ව වෙත පැවරීමේ සූදානමක් පවතින බවට වරින් වර වාර්තා වී තිබිණි.
රජය සතු මාධ්‍ය ආයතන අතර රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනිය, ගුවන්විදුලි සංස්ථාව සහ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම ( ලේක් හවුස් ආයතනය) වේ.