මනම්පිටිය- නිමල් ජයරත්න –
බකමූණ ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කම්හලක සේවකයින් 600ක් පමණ තම සේවා ස්ථානයට අවශ්‍ය ඉන්ධන ඉල්ලා අද සවස ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වට කරනු ලැබුවේය.
බකමූණ නගරයේ නගර සීමාවේ පවත්වාගෙන යන පෞද්ගලික ඇඟලුම් කම්හලක සේවකයින් මෙලෙස ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ ඇත්තේ තමන් සේවය කරන ආයතනයේ රැකියාව කරගෙන යාමට ඉන්ධන නොමැති නිසා රැකියාව අහිමි වී ඇති බව පවසමිනි.
ආයතනය පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට සාර්ථක වැඩපිළිවෙළක් සකසා දෙන ලෙස පැමිණි පිරිස් ඉල්ලා සිටියහ.
ඇඟලුම් කම්හලේ සිට සේවකයින් 600 ක් පමණ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා පා ගමනින් පැමිණි අතර ඔවුන් තම ගැටලුව ඉදිරිපත් කිරිමට ඇලහැර ප්‍රාදේශීය ලේකම්වරිය වන සී.එම්. කරුණාරත්න හමුවීමට උත්සාහ කළද ඇය ඔවුන් හමුවට නොපැමිණියාය. ඒ සමඟ පැමිණි පිරිස දැඩි විරෝධය පෑහ. අනතුරුව සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට ඉදිරිපත් වූවාය. පසුව බකමූණ පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිළධාරීන් ද මැදිහත්ව විසඳුමකින් තොරව පිරිස පාලනය කර විසුරුවා හැරීමට කටයුතු කළේය.
“අපි මේ ගාමන්ට් රස්සාව කළේ නැත්නම් අපේ පවුල් බඩගින්නේ මැරෙන්න වෙන්නේ, අපේ ප්‍රශ්න කියන්න කෙනෙක් නෑ.. රජයේ නිළධාරීන් හැංගෙනවා. අපි ඩොලර් හොයලා දුන්නොත් තමා මේ අය පඩියක් ගන්නේ, .අත්‍යවශ්‍ය සේවා වලට විතරක්ලු තෙල් දෙන්නේ ,ඇයි අපි කරන්නෙ රටට අත්‍යාවශ්‍ය සේවාවක් නෙමෙයි ද?…” ඔවුහු රටෙන් එසේ ප්‍රශ්න කළහ.