ගොවීන් වෙත බෙදා දී ඇති ඇතැම් දියර පොහොර පුපුරා යෑමට හා ගඳ ගැසීමට හේතුව ප්‍රමිතිය පහළ මට්ටමක පැවතීම බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පවසයි.
ඔහු මේ බව පැවසුවේ බෙදමින් ඇති දියර පොහොර පිළිබඳව අද (13) ලංකාසර කළ විමසීමකට පිළිතුරු දෙමිනි.
ඊට අදාළ පර්යේෂණ සිදු කිරීම සඳහා මේ වන විට ජාතික පොහොර ලේකම් කාර්යාලය පියවර ගෙන ඇති බවත් සත්ත්ව කොටස් ආශ්‍රිතව සකසන ලද දියර පොහොරවල පමණක් මෙම තත්ත්වය පවතින බවත් ශාක වලින් සකසන ලද දියර පොහොරවල මෙම තත්ත්වය නොමැති බවත් හෙතෙම කීය.
රටපුරා ගොවීන් නැවත අර්බුදකාරි තත්ත්වයකට පත්ව ඇති බවත් ඔවුන් එම තත්වයෙන් මුදවාලීම පිණිස කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.
මේ වෙන විට රට පුරා ගොවීන්ගේ පොහොර ගැටලු සම්පූර්ණයෙන්ම විසඳාලීමට නොහැකි වී ඇති බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ හෝ ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් පොහොර බෙදාහැරීමේ දී කිසියම් ප්‍රමාදයක් සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අයුරු අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.
මෙවර මහ කන්නයේ දී වගාව සඳහා ඇතිවූ අර්බුදකාරී තත්ත්වයන් නිසි ලෙස විශ්ලේෂණය කරමින් ඉදිරි යල කන්නයේදී එම අර්බුද ඇති නොවීම සඳහා හඳුනාගත් ගැටලුවලට ගත යුතු පියවර සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කෘෂිකර්ම අමාත්‍යංශය සහ පොහොර ලේකම් කාර්යාලය වෙත ලබා දීමට සැලසුම් කොට ඇති බවත් ඉදිරි සාකච්ඡා වල දී ඒ සම්බන්ධයෙන් සලකාබලා ස්ථිර තීරණ ගැනීමට පියවර ගන්නා බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.
එහෙත් පෙරේදා (11) කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කීවේ මෙම දියර පොහොර වල නයිට්‍රජන් වැඩිපුරම තිබෙන බවත් පුපුරා යන්නේ එහි ක්‍රියාකාරීත්වය වැඩි නිසා බවත් සඳහන් කළේය.
ඊයේ (12) කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවක දී ගෝලීය ජෛව පද්ධති ඉංජිනේරු චන්දන සෙනවිරත්න කීවේ දියර පොහොර අඩංගු කෑන් පුපුරා යෑම ස්වභාවික ක්‍රියාවලියක් බවය.