මනම්පිටිය නිමල් ජයරත්න –
පොලොන්නරුව වැලිකන්ද තනිකඩ භට නිවස තුළදී පොලිස් සැරයන්වරයකු අභිරහස් ලෙස මියයෑම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් 6 වෙනිදා සිට රහස් පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි.
මෙලෙස මියගොස් තිබුණේ එරාවුර් 2 ඒ ප්‍රධාන වීදියේ අංක 25 පදිංචිව ලිපිනයේ පදිංචිව සිටි මග්ගුල් මොහොමඩ් හනීෆා 64663 යන 52 වියැති පස්දරු පියෙකි.
ඔහු පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසය සේවය කරමින් සිටියදී ස්ථාන මාරුවකට අප්‍රේල් මාසයේ දෙවැනි දින වැලිකන්ද පොලිසියේ සේවය සඳහා පැමිණී තිබු බවද පොලිසිය සඳහන් කරයි.
ඉකුත් 30 වෙනිදා අලුයම වැලිකන්ද පොලිසියේ ඔහු නැවතී සිටි තනිකඩ භට නිවාසයේ කාමරයේ ඇඳ අසල බිම ලේ විලක් මත වැටී සිටින අයුරු යාබද කාමරයේ නිලධාරියා දැක තිබූ බව පොලිසිය සඳහන් කරයි.
මියගිය සැරයන්වරයාගේ දකුණු අතේ බාහුව ප්‍රදේශයේ විශාල තුවාලයක් දක්නට ලැබී ඇති අතර ඒ ආසන්නයේ ජනේලයක වීදුරුවේ කොටසක්ද කැඩී තිබෙනු දක්නට ලැබුණු බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මියගිය සැරයන්වරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී යු.එල්.එම්.එස්. පෙරේරා වෛද්‍ය වාර්තාවේ සටහන් කර ඇත්තේ මෙය දකුණු බාහුවට සිදු වූ ඇනුම් තුවාලයක් නිසා සිදු වූ රුධිර වහනයෙන් ඇතිවූ කම්පන තත්ත්වය මත සිදු වූ මරණයක් බවය.
අභිරහස් ලෙස මියගිය සැරයන්වරයාගේ මරණය සම්බන්ධයෙන් පසුගිය 6 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 12කින් යුත් විශේෂ කණ්ඩායමක් වැලිකන්ද පොලිසිය වෙත පැමිණ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.