මනම්පිටිය නිමල් ජයරත්න –
-
අපි ආයෙ උද්ඝෝෂණ කරන්නෙ නෑ… වගාව අත්හරිනවා… පොළොන්නරුවෙ ගොවීන් අපි වගා නොකලොත් ආණ්ඩුවෙ පාඩුව කෝටි 280ක්..
-
අපි රටේම ජනතාවට මේ කියන්නේ… ඉදිරි කන්නයේදී බත් කන්න ලැබෙන්නේ නැහැ. අපි රජයට කියනවා මේ රට සාගතයක් කරන්න එපා කියලා.
-
දැන් අපිව මර්ධනය කරන්නනම් හදන්නෙ අපිට මේ ටික කියන්න ඕන. මහත්වරුනි. උඹලට ගොවීන් මර්දනය කරලානම් උඹලට ආයෙ ගමනක් නෑ….
රසායනික පොහොර ලබා නොදුනහොත් එළඹෙන මහ කන්නයේ දී පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරය යටතේ වී වගා නොකිරීමට සියලුම ගොවි සංවිධාන ඒකමතිකව තීරණය කර ඇති බවත් මේ වී වගාව අත්හැරුනහොත් රජයට අහිමිවන ආදායම රුපියල් කෝටි 280 ක් බවත් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ඒකාබද්ධ ගොවි සංවිධානය මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා නිවේදනය කළේය.
ඊයේ (17) පැවති මෙම මාධ්‍ය සාකච්ඡාවට පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ඒකාබද්ධ ගොවි සංවිධානයේ දිස්ත්‍රික් සභාපති ජගත් අරුණ කීර්ති ඇතුළු පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන බහුතරයක සභාපතිවරු එක්ව සිටියහ.
එහිදී මාධ්‍යයට අදහස් දැක්වූ පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මෙසේ ද කීය.
“අපි ආයේ රසායනික පොහොර ඉල්ලලා උද්ඝෝෂණය කරන්න කොළඹට එන්නෙ නෑ. අපි මෙවර මහ කන්නයේ වී වගා කිරීම වර්ජනය කරන්න තීරණය කරලා තිබෙනවා. පොළොන්නරුවේ ගොවීන් හැටියට සියලුම ගොවි සංවිධාන එකතුවෙලා අපි ඒකමතිකව ඒ තීරණය අරන් හමාරයි.
“පැහැදිලියි. තීන්දුයි. මෙවර මහ කන්නයේ රසායනික පොහොර ලබා නොදුන්නොත් වී වගා කරන්නේ නැහැ .“
“අපි රටේම ජනතාවට මේ කියන්නේ… ඉදිරි කන්නයේදී බත් කන්න ලැබෙන්නේ නැහැ. අපි රජයට කියනවා මේ රට සාගතයක් කරන්න එපා කියලා.“
“රටේ සීයට 95 ක්ම ගොවීන් වගා කිරීම්ට රසායනික පොහොර ඉල්ලද්දී මේ ආණ්ඩුව නිහඬව බලා සිටීම විමතියට කරුණක්. ඔවුන් රටින් රතු කුඩු වගයක් ගෙන්වලා මේ මහපොළොවත්, වී ගොවිතැනත් අමු අමුවේ මරන්න හදනවා. ඒ ගෙනාවෙ බණ්ඩි පොහොර. මඩ පොහොර ඕන කාලයට බන්ඩි පොහොර ගෙන්වනවා . අපි ගොවියො. අපි මේතරම් මෝඩයෝ කියලද මේ අය හිතාගෙන ඉන්නෙ. මොකක්ද මේ කරන විහිලුව. මේව තමයි ඔලමොට්ටල වැඩ. “
“ඒ අතරෙ කාබනික පොහොර වලින් වී වගා කරන්න කැමතියි කියලා ජාතික ගොවි සම්මේලනයෙ දී ගොවි සභාපතිවරුන් කීප කීපදෙනෙක් කැමතිවුණා කියලා කෘෂිකෂිකර්ම ඇමතිවරයා මාධ්‍යට ප්‍රකාශයක් කරලා තිබුණා. ඒක අමූලික බොරුවක්. කිසිම ගොවි නායකයෙකු එහෙම ප්‍රකාශයක් කරලා නැහැ.“
මෙහෙම අපේ ජීවිත මේ රටේ මිනිස්සුන්ගෙ ජීවිත එක්ක මේ අය සෙල්ලම් කරන්නෙ කොහොම ද?. ඔවුන් කාබනික දන්නෙත් නෑ. රසායනික දන්නෙත් නෑ. මේ විදිහට වී වගා කරන්නෙ බෑ. ඒක තමයි ඇත්ත. දැන් හදන්නෙ අපිව මර්ධනයකරන්න නම් අපිට මේ මහත්තුරුන්ට කියන්න දෙයක් තියනවා. ගොවීන් මර්ධනය කරලා උඹලට ගමනක් නෑ…
පොලොන්නරුව ඒකාබද්ධ දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති වැඩිදුරටත් එලෙස කීවේය.
මෙහිදී ගොවි සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙකුම පොහොර අර්බුදය පිළිබඳව අදහස් දැක්විය.