නියෝජ්‍ය පොලිස්පතිවරු 05 දෙනකුට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියන් සිවුදෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 35 දෙනකුට පොලිස් අධිකාරිවරු 07 දෙනකුට සහ සහකාර පොලිස් අධිකාරීවරු 07 දෙනකුට ජාතික පොලිස් කොමිෂන් සභාව මඟින් ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
මෙම ස්ථාන මාරුවීම් ලැබ සිටින නිලධාරීන් අතර පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් සිදුවීම් රැසකටම මුල්වූ ස්ථානයක් වන කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්යක්ෂ ධුරය දරමින් සිටි සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා ද සිටියි. ඔහු ස්ථාන මාරු කර ඇත්තේ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සාමාන්‍ය රාජකාරි සඳහාය. කොළඹ අපරාධ කොට්ඨාසයේ නව අධ්යක්ෂ ලෙස පත් කර සිටින්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි ය.
මේ හැරුණු කොට බස්නාහිර පළාත දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ වැඩබලන අධ්යක්ෂ ලෙස සේවයේ නිරතව සිටි ජනක කුමාර එම තනතුරින් ඉවත් කර සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා තිබේ. ඒ වෙනුවට එම කොට්ඨාසයේ අධ්යක්ෂ ලෙස අම්පාර කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටි පොලිස් අධිකාරී ජේ.එච්.එම්.එන්. ජයපත්ම පත්කර ඇත.
මෙම ස්ථාන මාරුවීම් ඔස්සේ මෙතෙක් පොලිස් කොට්ඨාස භාර පොලිස් ප්‍රධානීන් සහ විවිධ අංශ භාර අධ්යක්ෂ ධුරවල නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු, පොලිස් අධිකාරීවරු සහ සහකාර පොලිස් අධිකාරීවරු 07 දෙනකුට කිසිදු වගකීමක් නොලැබ සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා තිබීම විශේෂත්වයකි.
ස්ථාන මාරුවීම් ලැබූ නියෝජ්‍ය පොලිස්පතිවරු පස් දෙනා අතර කොළඹ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර කුමාර ද සිටින අතර ඔහු පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයටත් පොලිස් ශිෂ්‍යභට භාර නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි. සෙනෙවිරත්න කෑගල්ල දිසාව භාර පොලිස් ප්‍රධානියා ලෙසත් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර කුරුණෑගල දිසාව භාර පොලිස් ප්‍රධානියා ලෙසත් කෑගල්ල නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ ශිෂ්‍යභට භාර ප්‍රධානියා ලෙසත් කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති යූ.එන්.පී. ලියනගේ කොළඹ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් පත්කර ඇත. – දිනමිණ – ගයාන් කුමාර වීරසිංහ







