කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –
ඉහළ පොලිස් නිලධාරීයෙකුගෙ නියෝග මත ගම්පහ පහළගම පන්සලේ බණ මඩුවෙහි වර්ග අඩි 600ක ඉඩක කොවිඩ් ආශ්‍රිතයන් වූ පොලිස් නිලධාරීන් 35 දෙනෙක් දමා පවත්වාගෙන යන නිරෝධායන කඳවුරක් නිසා සෞඛ්‍ය අංශ බරපතල අර්බුදයකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.
සෞඛ්‍යය නිර්නායක අනුව සාමාන්‍යෙයන් මෙවැනි ඉඩක නිරෝධායනට ලක් කළ හැක්කේ පුද්ගලයන් උපරිම හයක් පමණි. මෙම නිරෝධායන මධ්‍යස්ථානය ගැන සැලවූ වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පෙන්වා දී තිබුණේ කිසිම ආකාරයකින් 6 දෙනෙකුට වඩා වැඩි පිරිසක් මෙම ස්ථානයේ නිරෝධායනය නොකරන ලෙසය.
ජනයා නිරන්තර ගැටෙන පන්සලක් වීමත්, ආසන්නයේ පාසලක් පිහිටා තිබීමත් නිසා මෙම ස්ථානය මෙවැනි නිරෝධායන කටයුත්තක් සඳහා කිසිිසේත්ම නුසුදුසු බව එම නිලධාරීන් ඉහළ පොලිස් නිලධාරී්න් පිරිසකට පැහැදිලි කර දී තිබිණි. එහෙත් එම නිලධාරීන්ටත් කරගත හැකි දෙයක් නොවුන බව පෙනී ගිය බව වාර්තා විය.
කෙසේ වෙතත් ඊයේ (16) උදෑසන සෞඛ්‍ය අංශවල නිලධාරින් මෙම ස්ථානයට යන විට බණ මඩුවෙ බංකු දමා ඒ මත මෙට්ට යොදා තිහටක වඩා වැඩි පොලිස් නිලධාරීන් පිරිසක් එම ඉඩෙහි ගාල් කර තිබෙනු දක්නට ලැබී ඇත.
එදිනම නිලධාරී පිරිසගේ පීසීආර් පරීක්ෂණ කරන විට එක් පොලිස් නිලධාරියෙක් කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු විය. හවස ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ලබා ගත් නියැදි 28න් ආසාදිතයන් 07 දෙනෙක් වාර්තා වී තිබිණි.
කිසිම සෞඛ්‍ය නිර්නායකයක් අනුගමනය නොකර පවත්වාගෙන යන මෙම නිරෝධායන මධ්‍යස්ථානය හරහා මහා විනාශයක් වෙන්නට පෙර හැකි ඉක්මනින් එය ඉවත් කරගන්නා ලෙස සෞඛ්‍ය අංශ අද නැවත වරක් ගම්පහ පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත.