සාක්ෂිකරුවන්ට දැඩි බලපෑම් එල්ල කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගන්දර පොලිස් ස්ථානාධිපති අර්ජුන විජේසිංහ ලබන ජනවාරි 10 වැනිදා දක්වා තවදුරටත් බන්ධනාගාර ගත කරන ලෙස මාතර මහෙස්ත‍්‍රාත්වරයා ඊයේ (28 දා) නියෝග කර තිබේ.
නිල ඇඳුමින් සිටි අධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනුණි.
මහෙස්ත‍්‍රාත්වරයා සැකකරු තවදුරටත් රිමාන්ඞ් කිරීමට නියෝග කර ඇත්තේ
සැකකරු සාක්ෂිකරුවන්ට කරන බලපෑම් හේතුවෙන් තවදුරටත් රිමාන්ඞ් බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය කළ ඉල්ලීමට අනුව ය.
ගන්දර පොලිසියේ රාජකාරි කරමින් සිටි ආධුනික පොලිස් නිලධාරිනියක තම නිල නිවසට ගෙන්වාගෙන ඇයට බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි ස්ථානාධිපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.
ඊයේ පෙරවරුවේ මාතර අධිකරණය හමුවේ මෙම නඩුව විභාග කෙරිණි.
එහිදී සැකකාර නිලධාරියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඔහුට ඇප ඉල්ලා සිටි නමුත් සැකකරු නැවත රිමාන්ඞ් කිරීමට මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇත.