පොලිස්පතිවරයාට පොලිස්පති ධූරයේ දිගුවක් ලැබේදැයි දැනගැනීම සඳහා ඔහුගේ කේන්දර කොපියක් රැගෙන සාස්තරකරුවන් හමුවීමට ගිය “වෙන්ට පොලිස්පති“ කෙනෙක් ඉලක්ක කරගෙන වත්මන් පොලිස්පති ඩී.සී.වික්‍රමරත්න අද (30) අපූරු කතාවක් කළේය.
තව මාස තුනකින් තමන් විශ්‍රාම යන බවත්, විශ්‍රාම යන දිනයට කතාවක් පැවැත්වීමේ අදහසක් නැති බැවින් මේ කරන්නේ විශ්‍රාම යන දවසට කරනු ලබන කතාව බව කියමින් ඔහු මේ කතාව පවත්වනු ලැබුවේ ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලියු.එෆ්.යූ ප්‍රනාන්දු, සහ තවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් 09 දෙනෙක් විශ්‍රාම ගැනීම වෙනුවෙන් අද (30) පොලිස් මූලස්ථානයේ පැවති විශේෂ උත්සවයට එක් වෙමිනි.
මෙහිදී පොලිස්පතිවරයා කීවේ පොලිස්පති ධූරය යනු ඉතාම ගෞරවණීය ධූරයක් බවය. එය දේශපාලනයෙන් හෝ වෙනත් ආකාරයකින් බලහත්කාරයෙන් අත්පත් කරගත හැකි ධුරයක් නොවන බව ඔහු පෙන්වා දුන්නේය.
පොලිස්පති ධූරයට නිලධාරියෙක් පත්වන නිශ්චිත ක්‍රමවේදයක් සහ පිළිගත් ගෞරවණීය සම්ප්‍රදායක් ඇති බව ඔහු සිහි කළේය. එසේ තිබියදී පොලිස්පති ධූරය සඳහා දැඩි අභිලාෂයකින් පසුවන එක්තරා ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වත්මන් පොලිස්පතිවරයාවන තමන්ට පොලිස්පති ධූරයේ දිගුවක් ලැබෙනවාද යන්න දැනගැනීමට තමන්ගේ කේන්දර කොපියක් සොයාගෙන රැගෙන ශාස්තර කරුවන් සොයා ගිය ආකාරය හෙළි වුන බව කීවේය.
මේ ලජ්ජාසහගත හැසිරිම පොලිස් දෙපාර්තමේන්තුවටම අහිතකර ලෙස බලපාන බව කී පොලිස්පතිවරයා සිල්ගෙන සිටින්නාක් සේ බොහෝ උපේක්ෂාවෙන් සියලු දේ බලා සිටින තමන්ගේ සැඟවී සිටින යක්ෂයා අවදි නොකරන ලෙස ඉල්ලා සිටියේය.
ධර්මානුකූලව සිදුකළ පොලිස්පතිවරයාගේ කතාව එක් අයෙක් දෙදෙනෙක් හැරුණු විට පොලිස් ප්‍රධානීන් සියල්ලගේම ප්‍රසාදයට ලක්වුන බව වාර්තා විය.
අනතුරුව පොලිසියේ පරිපාලනය භාරව සිටි විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ පොලිසිය කෙලසන ඉහළම පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ මුහුණටම ඍජු විවේචනයක් එල්ල කළ බව පැවසිනි.
පොලිස්පතිවරයා ශීලයෙන් මිදෙන තුරු අපේක්ෂා සහගතව බලාසිටින බව පොලිස් ප්‍රධානීන් පොලිස්පතිවරයාට දන්වා තිබුණු බව ද වාර්තා විය.