පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාව විසින් ගත් තීරණයකට අනුව එම විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී සමන් රාජපක්ෂ වැඩ ඉංජිනේරු පුෂ්පික පණ්ඩිතරත්න සහ වැඩ අධිකාරී යූ බණ්ඩාරනායක යන තිදෙනා සේවයෙන් නෙරපා හැර තිබේ.
ලේඛකාධිකාරීවයාගේ නිවස අලුත්වැඩියාව සඳහා රාජකාරි වේලාවේ දී විශ්වවිද්‍යාල සේවක පිරිසක් යෙදා ගැනීමත්, ඒ සඳහා විශ්වවිද්‍යාල වැඩ දෙපාර්තමේන්තුවට අයත් උපකරණ තොගයක් අනුමැතියකින් තොරව ලබා ගැනීමත් යන චෝදනාව මත සිදුකළ පරීක්ෂණයට අනුව මෙම තිදෙනා සේවයෙන් නෙරපා තිබේ.
මෙම නීති විරෝධී අලුත්වැඩියාව සිදුකර ඇත්තේ ලේඛකාධිකාරීවරයාට අයත් පේරාදෙණිය ටිවර්ටන් ප්‍රදේශයේ පිහිටි නිවසකි.
2020 දෙසැම්බර් මස දිනක දී විශ්විද්‍යාල සේවක පිරිස නිවස අලුත්වැඩියාවේ යොදවා තිබිය දී රජයේ විගණන අංශ නිලධාරීන් එම ස්ථානයටම ගොස් ඔවුන්ව අසුකරගෙන තිබේ.
චෝදනා ලත් පිරිස ඊට එරෙහිව කළ කරුණු දැක්වීමට අනුව පාලක සභාව මගින් පරීක්ෂණයක් සිදුකරනු ලැබීය.
වැඩඉංජිනේරුවරයා සහ වැඩ අධිකාරීවරයා විසින් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ එදින සේවය සඳහා යොදවා සිටි පිරිස ලේඛකාධිකාරීවරයාගේ නිවසේ සේවය සඳහා යවා තිබෙන බව පරීක්ෂණ මගින් හෙළි විනි.
සේවයෙන් නෙරපා හරින ලද තිදෙනාම ඔවුන්ගේ තනතුරුවලට අලුතින් පත්වීම් ලැබ පරිවාස කාලයක් ගතකරමින් සිටි අය බව විශ්විද්‍යාල පරිපාලනය පවසයි.







