පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත්‍රයාට පහර දීම සහ නිවසට අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් වහාම සම්පූර්ණ විමර්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හදිසි නියෝගයක් නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. අදාල සියලුම අංශවල සහභාගීත්වයෙන් මෙම විමර්ෂණය සිදු කොට ඊට අදාළ නිසි පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා තවදුරටත් නියෝග කර තිබේ.
පසුගිය සෙනසුරාදා (10) රාත්‍රියේ මහාචාර්යවරයාගේ පුත්‍රයා විශ්ව විද්‍යාල පරිශ්‍රයේ පිහිටි නිවසට පැමිණෙමින් සිටින විට සිදුවූයේ යයි කියන සුළු අනතුරක් මත නිර්මාණය වු බහිසන්බස් වීම දුරදිග ගොස් මහාචාර්යවරයාගේ පුත්‍රයාට පහර දී ඇති අතර එයින් පසුව එම මැර සිසුන් පිරිසක් මහාචාර්යවරයාගේ නිවසේ දොරක් කඩාගෙන ඇතුළටද පැමිණ හානි සිදුකොට ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය හේතුවෙන් මහාචාර්යවරයාත් ඔහුගේ පුත්‍රයාත් රෝහල් ගත කළ අතර මේ වනවිට ඊට සම්පන්ධ වූ සිසුන් දස දෙනකු හඳුනාගෙන ඔවුන්ගේ පන්ති තහනම් කිරීමට පියවර ගන ඇත.







