කීර්ති ප්‍රනාන්දු –
මිනිස් ජීවිත 269ක් විනාශ කරමින් වර්ෂ 2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය මහා දේශපාලන කුමන්ත්‍රණයක කොටසක් බව කොළඹ අග රදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය අමතමින් පැවසූහ.
පාස්කු ඉරිදා සමූල ඝාතනය පසුපස ඇති සත්‍යය සොයා ගැනීමට අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්වීම සහතික කිරීම සඳහා ක්‍රමවේදයක් සැලසුම් කිරීමට සහයෝගය දක්වන මෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් සහ එහි සියලුම සාමාජික රටවල් වලින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බවත් උන්වහන්සේ කීහ.
උන්වහන්සේ කළ ප්‍රකාශය මෙසේය.
ගරු සභාපති තුමනි, හිතවත් නෝනාවරුනි, මහත්වරුනි,
2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවේ දී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් දරු
දැරියන් අසූ දෙදෙනකු (82) සහ රටවල් 14 කට අයත් විදේශිකයින් හතළිස් හත් (47) දෙනකු ඇතුළුව මිනිසුන් 269 දෙනෙකුගේ ජීවිත අහිමි වූ අතර, පන්සිය (500) දෙනකුට වඩා වැඩි පිරිසක් තුවාල ලැබුවා.
මෙම සමූල ඝාතනය පිළිබඳව මුලින්ම ඇති වූ හැඟීම වූයේ එය හුදෙක් ඉස්ලාමීය අන්තවාදීන්
පිරිසකගේ ක්‍රියාවක් බව ය. කෙසේ වුවද, ඉන් අනතුරුව සිදුවූ විමර්ශන වලින් පෙනී ගියේ මෙම සමූල ඝාතනය, මහා දේශපාලන කුමන්ත්‍රණයක කොටසක් බවයි.
අප ද සත්‍යය සොයා යන සිවිල් සංවිධාන ද දිගින් දිගටම ඉල්ලා සිටිය ද, වින්දිතයින් හට යුක්තිය ඉටු
කිරීමට, ශ්‍රී ලංකාවේ රජය අසමත් වී සිටිනවා. ප්‍රහාරය පිටුපස ඇති සත්‍යය හෙළිදරව් කිරීම සහ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට යුක්තිය ඉල්ලා හඬ නගන්නන්ට හිරිහැර කිරීමේ සහ බිය ගැන්වීමේ උත්සාහයන් දක්නට ලැබෙනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස, මේ බිහිසුණු අපරාධය සිදුවී වසර තුනකට ආසන්න කාලයක් ගතවී ඇතත්, පාස්කු ඉරුදින ඇත්තටම සිදුවූයේ කුමක් ද යන්න පිළිබඳව අපි තවමත් ඉන්නෙ අඳුරේ .
මෙය අගතියට පත් වින්දිතයින්ගේ මූලික මානව අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝණය වූෙඅවස්ථාවක් බැවින්, අප එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් සහ එහි සියලුම සාමාජික රටවල් වලින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ මෙම කවුන්සිලය මගින් පසුගිය වසරේ ආරම්භ කරන ලද සාක්ෂි රැස්කිරීම ඉදිරියටම කරගෙන යාමටත් පාස්කු ඉරිදා සමූල ඝාතනය පසුපස ඇති සත්‍යය සොයා ගැනීමට අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්වීම සහතික කිරීම සඳහා ක්‍රමවේදයක් සැලසුම් කිරීමටත් සහයෝගය දක්වන ලෙසයි.